BREAKING NEWS
Search

ජනපති ධුරයට නාමයෝජනා කැඳවීම පෙරවරුවේ – පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

292

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙනවා.

ඒ සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස් වීමට නියමිත යි.

නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම් භාර නිලධාරියා ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කටයුතු කරනවා.

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳ පළමු අත්දැකීම වාර්තා වන්නේ 1993 වසරේදීයි.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ පසු හේතුවෙන් එවක වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග ජනාධිපතිධුරයට ඒකමතිකව පත් කරනු ලැබුවා.

ඒකමතිකව අදාළ පත්වීම සිදු කිරීම හේතුවෙන් එම අවස්ථාවේ දී ඡන්ද විමසීමක් සිදු වුණේ නැහැ.

එහෙත් මෙවර ජනාධිපති අපේක්ෂකත්වයට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වෙන ඡන්ද විමසීම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නව අත්දැකීමක් වනු ඇති.

ඒ අනුව අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී මහලේකම්වරයා විසින් ජනාධිපති ධුරයට ඉදිරිපත්වන මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා භාරදෙන ලෙස සඳහන් කිරීමෙන් අනතුරු ව ඒ ඒ දේශපාලන පක්ෂ විසින් සිය අපේක්ෂකයින් යෝජනා කළ යුතුයි.

එය තවත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කළ යුතු අතර යෝජනා ස්ථිරත්වයෙන් අපේක්ෂකයා වන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන් එම අවස්ථාවේ දී සභාවේ රැඳී සිටිය යුතු බවයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ සඳහන් වන්නේ.

එසේ නො වුණ හොත් එම නාම යෝජනාව ප්‍රතික්ෂේප වනවා.

මීට අමතර ව යෝජනා වන මන්ත්‍රීවරයා තමන් තරග කිරීමට කැමති බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දිය යුතුයි.

පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කතානායකවරයා හැර ඕනෑම මන්ත්‍රීවරයෙකුට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි අතර ඉදිරිපත් විය හැකි සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමා පනවා නැහැ.

කතානායකවරායට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නො හැකි වුව ද ඔහුට ඕනැම අපේක්ෂයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතයට හැකියාව පවතිනවා.

මේ අතර හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ප්‍රකාශ කළේ, නාම යෝජනා කැඳවන අද දිනයේ දී හා ඡන්ද විමසීම සිදු කරන හෙට දිනයේදීත් පාර්ලිමේන්තුව සහ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *