BREAKING NEWS
Search

ජනපති සටනට දැනට අපේක්ෂකයන් 4 ක් – අනුර කුමාරත් තරග බිමේ

326

ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම සඳහා නම් කිරීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව අද තහවුරු කිරීමත් සමඟයි.

වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට නියමිත බවට වාර්තා පළ වන අතර, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව ඊයේ ප්‍රකාශ කළා.

මේ අතරතුර, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඊයේ රාත්‍රියේ සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට පැවතිය ද මෙම අසීරු සටනේදී සත්‍ය ජයගනු ඇතැයි යන විශ්වාසයෙන් තමන් ද ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බවයි.

ඒ අනුව, අද පැවති රැස්වීමකදී සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබුවා.

මේ අතර, ජාතික ජනබලවේගය අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණ කළේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට සූදානම් බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *