වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යළි සාමාන්‍යකරණය වෙමින් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ අද (07) දිනයේත් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වීමට ඉඩ ඇති බවයි.
දුම්රිය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ දී මතු ව ඇති ගැටලු මත පදනම්ව පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණේ.
ඒ සමඟ ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 50කට සීමා වූ අතර, දුම්රිය ගමන්වාර 290ක් පමණ අවලංගු වී තිබුණා.
ඒ නිසා දුම්රිය මගීන් පත්වූයේ දැඩි අසීරුතාවයකට යි.
පසු ව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් ලැබෙන නිසා ඉන්ධන අවශ්‍ය සියලු දෙනාට ලබාදීමට එය ප්‍රමාණවත් නො වීම හේතුවෙන් කෝටා ක්‍රමයක් යටතේ අත්‍යවශ්‍ය පුද්ගලයින් සඳහා එය ලබාදීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එහි දී ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට එක් කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ, ඉන්ධන ගැටලුව හේතුවෙන් ඇතැම් සේවකයන් සේවයට වාර්තා නො කිරීමේ ගැටලු නිසා දුම්රිය ධාවනයේ යම් අඩුපාඩු සිදු විය හැකි බවයි.
මේ අතර, ඉන්ධන අර්බුදය මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ යුද හමුදාවේ සහාය ඇති ව නව වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට ලබා දී ඇති ක්ෂණික දුරකතන අංක අමතා ඔවුන්ගේ ගමන් විස්තරය ලබාදීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ.
Source:Hirunews

















