බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා.
එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා.
වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදු වී තිබීම නිසාවෙන්, වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කිරීම වඩාත් වැදගත් ලෙස සැලකිය හැකියි.
වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණා.
වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි.
එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා.
ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථකිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා.
එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා.
එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.
මෙම තෙමඟුල සිදු වුණේ අදවන් (15) වෙසක් පුන් පොහෝදිනක දී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
අසිරිමත් සම්බුදු තෙමඟුල යෙදෙන අද දිනයේ දී ලෝකවාසී මෙන් ම ශ්‍රී ලාංකික බෞද්ධ ජනයා ආගමික හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන්නේ සැදැහැ සිතින් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
බෞද්ධ දර්ශනයේ සඳහන් වන ආකාරයට යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටෙන් යුක්තව විඳින්නේ ද ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි යනුවෙන් උගන්වන බවයි ජනාධිපතිවරයා සිය පණිවිඩයේ දක්වා ඇත්තේ.
එබැවින් අසීරු අවස්ථාවන්හිදී උත්සාහයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, රට අසීරුතාවට පත්ව ඇති මොහොතක සියලුදෙනා එක්ව එක විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.
මේ හේතුවෙන් පින්බර වෙසක් පොහොය දිනයේ දී පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියල්ලට ම සාධාරණ, පොදු විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් සඳහා එක් විය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.
මෙවර උතුම් සම්බුදු තෙමඟුල සැමරීමට සමස්ත රටම නැවුම් ප්‍රාර්ථනා පෙරදැරිව පෙළ ගැසිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
වෙසක් දින පණිවුඩය මගින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට මේ මොහොතේ පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනාකොට ආදර්ශයට මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට ගත යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බවයි.
බුදුන් ලිච්ඡවි රජදරුවන්ට වදාළ පරිදි රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයෙන් මුදවා ගනිමින් සමගිය මත රැස්ව, සමගිව තීරණ ගනිමින්, සමගිව කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන්.
බලලෝභීත්වය, අවස්ථාවාදීත්වය, ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය තුළින් ලෝකය අසිරිමත් කිරීමේ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රයෝගිකවම ලොවට හෙළි කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය වෙසක් දින පණිවුඩයෙන් පවසන්නේ.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සුවිශේෂී දහම් කරුණු වර්තමාන ජීවිතවලට ප්‍රායෝගිකවම යොදාගත හැකි බව සත්‍යයක් බව ද විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවුඩයේ තවදුරටත් සඳහන්.
Source:Hirunews



















