පාරිභෝගිකයෙකු සඳහා ඉන්ධන පිරවුම්හලකින් දිනකට භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක්ද ඉදිරිපත් කළ යුතු බවයි.
එසේ නොමැතිව භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙතින් නිකුත් කිරීමට අවසර ලබා නොදෙන බවද එහි සඳහන්.
එසේම, බැරල් සහ බූලි වැනි භාජනවලටද ඉන්ධන නිකුත් නොකළ යුතු බවට වන චක්‍රලේඛය යළි බලාත්මක කර තිබෙනවා.
ඒ, විවිධ පාර්ශව බැරල් සහ බූලිවලට ඉන්ධන තොග රැස්කරන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබී ඇති පැමිණිලි සලකා බලමින්.
මේ අතර, ගාල්ල – පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අද පෙරවරුවේ ඉන්ධන රැගෙන පැමිණි බවුසරයේ අඩංගුව තිබූ පෙට්රල් වල සුදු පැහැති ද්‍රාවයක් පැවති බවට පාරිභෝගිකයින් චෝදනා කළා.
දිගු පෝලිම්වල රැඳී සිටිමින් ජනතාව එම පිරවුම් හලෙන් ඉන්ධන ලබාගත් අතර, අනතුරුව ත්‍රීරෝද රථ තුනක් සහ යතුරුපැදි කිහිපයක එන්ජිම අක්‍රීය වීමෙන් මාර්ගයේ නතර වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉන්ධන පිරවුහම්හලට පැමිණිලි කර එම ඉන්ධන බෝතලයකට ලබා ගැනීමට කටයුතු කළා.
පසුව එහි සුදු පැහැති ද්‍රාවයක් තිබෙන බවට දැක ගත හැකි වුණා. එහිදී පෝලිම්වල රැඳී සිටි ජනතාව පිරවුම් හල ඉදිරිපිට පැමිණ බවුසර් රථයේ රියදුරුට සහ පිරවුම්හල් සේවකයින්ට චෝදනා එල්ල කළා.
එම පෙට්රල්වලට ජලයද මිශ්‍ර වී ඇති බවයි පාරිභෝගිකයින් කියා සිටියේ.
පසුව ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතීගත සංස්ථාව දැනුම්වත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ බලධාරින් කටයුතු කළ අතර, ඉන්ධන ලබාගත් වාහනවල එන්ජින් වලට යම් හානියක් සිදු වී ඇත්නම් ඒ සඳහා මුදල් ලබා දෙන බවට එහි බලධාරින් පොරොන්දු වී තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, එම ඉන්ධනවල සාම්පල මේ වනවිට පරික්ෂණයකට යොමු කර ඇති බවයි.
එම පරික්ෂණ වාර්තාව අද දිනය ඇතුළත විෂය භාර අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ බොහෝ පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි.
Source:Hirunews



















