BREAKING NEWS
Search

එහෙම දෙයක් වුනාම කෙල්ලොන්ගේ පැත්තට වැරැද්ද පටවලා අත පිහිදාගන්නයි හැමෝම බලන්නේ – ඉන්දියාවේ මෞමිතා සමාජ මාධ්‍ය කලබද්දී ලංකාවෙන් ඇහෙන හද කම්පා කරවන තරුණියකගේ කතාව

416
ඊයේ ජුන්කෝත් මෞමිතාත් ගැන ලියලා පැයක් ගත වෙන්න කලින් මට එක්තරා කෙටි පණිවිඩයක් ලැබෙනවා.

ඒ කෙටි පණිවිඩයෙන් කියවුණේ එක කතාවක්. ඒ කතාව මට කිව්වේ මගේ මිත්‍ර නංගි කෙනෙක්. ඒ කතාව අහගෙන ඉන්නකොට එක පැත්තකින් මම ගොඩක් පුදුම වුණා. අනිත් පැත්තෙන් මම කිසිසේත්ම පුදුම වුණේ නෑ. පුදුම වෙන්න හේතුව තමයි, ‘මේ ලෝකෙන් තුරන් විය යුතුයි කියලා මම තදින් විශ්වාස කරන දේවල් ඊටත් වඩා තදින් අල්ලගෙන ඉන්න මිනිස්සු මට මොන තරම් සමීපයෙන්ද ඉඳලා තියෙන්නේ කියලා’ වටහා ගැනීම. පුදුම නොවෙන්න හේතුව තමයි ‘මේක කොහොමත් මහ ජරා, කැත, ගඳ ලෝකයක්’ කියලා දැන් කාලයක් තිස්සේ මම වටහාගෙන ඉඳීම.
කතාව කියපු නංගි මගෙන් ඉල්ලීමක් කරනවා…
“අක්කේ, ඔයා හොඳටම බිසී කියලා මං දන්නවා. ඒත් ඔයාට පුලුවන්ද මේ කතාව මිනිස්සුන්ට ඇහෙන්න ලියන්න?”
ඉතින් ඔන්න මං ලියනවා. ඒ, මේක මිනිස්සුන්ට අස්සවන්න ඕන නිසා හෝ වෙනයම් හේතුවක් නිසාමත් නෙමෙයි. තග දාලා, චෝදනා නගලා, බය කරලා කටහඬ හිරකරලා දාපු තුවාල වෙච්ච චූටි කෙල්ලෙක්ගේ කටහඬ වෙන්න ඕන නිසා.
මෙතනින් එහාට මේ කතාව මං ලියන්නේ මේ කතාව මට කිව්ව නංගිගේ හඬින්.

අමාවි අක්කේ, මට මේක ලියන්න ඕන එකක්. ඒත් නෑදෑයෝ ඉන්න නිසා සහ නංගිගේ චරිතෙට අවුලක් වෙයි නිසා ලියන්න බෑ.
අපේ තාත්තා ලෙඩ වෙලා ඉන්නකොට, අපේ නැන්දලා ඇවිත් නංගිවයි තාත්තාවයි එයාලාගේ ගෙදර එක්කගෙන ගිහින් මාසයක් වගේ බලාගත්තා. එතකොට මම හිටියේ ගෙදරින් ඈත. නැන්දලා තමයි අපිට හැමදේටම හිටියේ. කොහොමහරි තාත්තලා එහෙට ගිහින් සති දෙකක් තුනක් යන්න ඇති. දවසක් නංගි මට රෑ 2ට විතර අඬ අඬ call කරා. “මට කරදරයක් වුණා. කාගෙන්ද කොහේදිද අහන්න එපා” කියලා එයා කිව්වා.

ඒත් මං දිගටම එයාගෙන් ප්‍රශ්න කරා. එහෙම අහනකොට අහනකොට එයා කිව්වා මාමා එයාව එක්කගෙන ගිහින් කරදර කරා කියලා. ඉන්ටර්කෝස් නැතුව අනිත් සේරම දේවල් කරලා තිබුණා. තාත්තා එක්ක ඉන්නකොට මීමැස්සෝ බලන්න යමු කියලා එක්කගෙන ගිහින් තිබුණේ. ඊට කලිනුත් අහලා තිබුනා ෆෝන් එකේ පෝර්න් බලන්නේ කොහොමද කියලා. නංගි ඒවා මට කිව්වා. ඒ විතරක් නෙමෙයි, මාමා නංගිට කරදර කරන අතරේ කියලා “මේවා කාටවත් කියන්න එපා. එතකොට ඔයාලට කවුරුත් නැති වෙයි” කියලා. “තාත්තා වැඩට ගියාම එන්නම්” කියලත් මාමා කියලා තිබුණා.
මේක ඇහුවට පස්සේ මම මේ විස්තරේ තාත්තට කිව්වා. තාත්තා නැන්දාට කිව්වා. නැන්දා එයාගේ පුතාට කිව්වා. අපි පොලිසි ගියේ නෑ. නංගිට එතකොට අවුරුදු17යි. නැන්දා බැගෑපත් වෙලා ඉල්ලා හිටියා පොලිසි යන්න එපා කියලා. එතකොට එයාලාට ගමේ ඉන්න බැරි වෙයි කියලා.
අයියයි නැන්දයි එක්ක මාත් කතා කරා. මට බය තිබුනේ නැන්දා හරි නංගි හරි සූසයිඩ් කරගනීවි කියලා. මම දෙපැත්තම බැලන්ස් කරා. නංගිට වෙච්ච දේට නැන්දාට කරන්න දෙයක් නෑ කියලාත්, ඒත් මාමාට ආයේ අපේ ජීවිතවලට එන්න බෑ කියලත් මම කිව්වා. එතකොටත් එයාලා කිව්වේ “එදා නංගි තාත්තා එක්ක ඉන්නේ නැතුව ඇවිද ඇවිද හිටිය නිසයි ඔහොම වුණේ” කියලා. මම කිව්වා “නැන්දේ අපි ඔයාගේ ගෙදර එන්නේ, එහෙම පරිස්සම් වෙන්න ඕන කියලා අවදානමක් දරන්න ඕන නැති වෙයි කියලා හිතලානේ” කියලා.
අපි එච්චර හොඳට ප්‍රශ්නේ විසඳලා ටික දවසකින් නැන්දා කියලා තිබුනා ඒක මමයි නංගියි එයාලා තරහා කරවන්න කරපු දෙයක් කියලා. නැන්දලා ගොඩක් දුප්පත්. තාත්තලා එහේ ඉන්නකොට මමයි අයියයි සල්ලි දුන්නා. තාත්තත් වියදම් කරා. අනික මම සෑහෙන කොටට අඳින්නේ. ඒක නම් ගෙදරින් අයින් වුනාට පස්සේ තමයි. මම ශෝට් ඇඳලා කොන්සර්ට් එකකට ගියත් මට කවදාවත් මනුස්සයෙක්ගෙන් කරදරයක් වෙලා නෑ. කොහොමත් පොඩි කාලේ ඉඳලා අපි ගෙදරට ඇන්දේ ශෝට්. නංගි එහේ ගියපු පලවෙනි දවසෙම මාමා එයාට කියලා තිබුණා “ඕවා නම් මෙහේ අඳින්න බෑ. කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ” කියලා.
අන්තිමට නැන්දලා කිව්වා මරු කතාවක්. මාමා එහෙම වුනේ නංගි හරියට ඉන්නේ නැති නිසාලු. සමහර දවසට ශෝට් අඳින නිසාලු. තාත්තාගේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ටයි මාවයි නංගියිවයි පෙන්නන්න බෑ. අපි නිකං ප්‍රොස්ටිටියුට්ස්ලා වගේ කියලයි එයාලා හිතන්නේ. හේතුව අපි කොටට අඳින එක. නැන්දලා මිනිස්සුන්ට කියලා අපි මෙහෙම ඩ්‍රාමා එකක් කරලා එයාලාව තරහා කෙරෙව්වා කියලා. එහේ පුතාලා දෙන්නා පවා ගත්තේ තාත්තාගේ පැත්ත. එදා අපි එයාලව අපේ නෑදෑකමින් අයින් කරා.
මේක වෙලා දැන් අවුරුදු එකහමාරක් වගේ.
අපි අපේ සුපුරුදු විදිහටම ඉන්නවා. එයාලත් තාම එයාලාට ඕන දේම හිතාගෙන ඉන්නවා. ඒත් එහෙම දෙයක් වුනාම කෙල්ලොන්ගේ පැත්තට වැරැද්ද පටවලා අත පිහිදාගන්නයි හැමෝම බලන්නේ. “ඇයි එයාට කෑගහන්න බැරි වුණේ; ඇයි එයාට එපා කියන්න බැරි වුණේ” කියලා නැන්දලා අපෙන් ඇහුවා. අන්තිමට “නංගි මාමව ඒකට අහුකරගත්තා; නංගි බලෙන් ඒවා කරගත්තා” කියලා එයාලා කිව්වා.
අපි මේ සිද්දිය මිනිස්සු හතර පස් දෙනෙකුට විතරයි කිව්වේ. ඒත් එයාලා හැමෝටම කියලා. පවුලේ උත්සවවලට වුනත් ඒ මිනිහා කිසිම ලැජ්ජාවක් නැතුව පවුල පිටින් එනවා.
නැන්දා හිතාගෙන ඉන්නේ එයාගේ පුතාලායි එයාගේ මනුස්සයායි කෙල්ලෙක්ගේ කකුලක්වත් දකින්න කැමති නැති බෝධිසත්වයෝ කියලා. නැන්දලා හරි කියලා හිතාගෙන ඉන්න කොළඹ පොෂ් නෑදෑයොත් ඉන්නවා. මගේ wedding එකයි අයියගේ wedding එකයි එක ළඟ මාස දෙකක තිබුණේ. මගේ එකට ආවේ නැති අයියගේ එකට විතරක් ආපු නෑදෑයෝ ඉන්නවා.//
—————————————————-
හිතවතුනි, මේ තමයි ඒ කෙටි පණිවිඩයේ තිබුණ කතාව. මේ කතාව ඇතුලේ මොන තරම් ස්ටීරියෝටයිප්ස් කන්දරාවක් තියනවද කියලා ඔබට පේනවාද?
– එයා එළිපෙහෙලියේ නිදහසේ ඇවිද ඇවිද හිටිය නිසයි ඕක වුණේ
– එයා ගෙදරට ශෝට් ඇඳගෙන ඉන්න නිසයි ඕක වුණේ
– ඇයි එයා කෑ ගැහුවේ නැත්තේ?
– ඇයි එයා එපා කිව්වේ නැත්තේ?
– මේවා කාටවත් කියන්න එපා. එහෙම වුණොත් ඔයාලාට කවුරුත්ම නැති වෙයි
– අනේ පොලිසියට යන්න එපා. අපිට ගමේ ඉන්න බැරි වෙයි
-ඔය කෙල්ල කොටටමයි අඳින්නේ. ඉතින් කොහොමත් ගණිකාවක් වගේ තමා
– ඕවා බොරු. අපිව කොටවන්න, තරහකරවන්න ඕකි ගොතපුවා.
– ඒකිට තමයි ඕක කරගන්න උවමනාව තිබ්බේ.
– ඒකි පාඩුව හිටිය මිනිහාව අවුස්සලා ඕක කරගත්තා.
හිතවතුනි, ගැහැනියක් වෙච්ච මාත්, ගැහැනු වෙන ඔබත් ජීවත් වෙන්නේ අත පොවන මානයේවත් පරිස්සමක් නැති මේ වගේ මිනිස්සු ගොන්නක් අතර. ඊයේ මගේ මිතුරියගේ නංගි වෙච්චි කොට, අද මෞමිතා වෙච්චි කොට, හෙට මම හෝ ඔබ නොවේවි කියලා අපි බය නැතුව කියන්නේ කොහොමද?
හිතවතුනි,
Rajith Lasantha මෙහෙම කියනවා…
“මේ ලෝකයට තවදුරටත් සඳ තරණය, අධි තාක්ෂණික සොයාගැනීම් වගේ දේවල් ඵලක් රහිතයි.
මේ ලෝකයට අවශ්‍යව ඇත්තේ,
මනුස්සකම, ආදරය, නිදහස, සමානාත්මතාවය වගේ උත්තරීතර දේවල්.”
( අමාවී සිල්වා )



Leave a Reply

Your email address will not be published. Required fields are marked *