BREAKING NEWS
Search

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවගේ හැසිරීම අන්තිමයි

132

සංචරණ නීති ඊයේ (ජූනි 21) ලිහිල්කිරීමෙන් පසු නිවස්වලින් පිටතට පැමිණි ජනතාව බැංකු, උකස් මධ්‍යස්ථාන, මත්පැන් අලෙවි සල්, සිල්ලර බඩු වෙළෙඳ සල්, ආර්ථික මධ්‍යස්ථාන වැනි ස්ථාන තුළ හා එම ආයතන ඉදිරිපිට සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකට නොසලකා හරිමින් හැසිරුණු බවත් මෙම තත්ත්වයන් ඉදිරියටත් පැවැතුණහොත්, සංචරණ නීති පනවා ඇතිකරගත් පාලනය ගිලිහීයෑම අනිවාර්ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කරයි.

සේවා ආයතන හා මහජනතාව වගකීමෙන් තොරව ක්‍රියාකිරීම, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන් ම මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශ රැසකින් වාර්තා වී අති බව ද වෙළෙඳ සල් තුළත් බැංකු, මත්පැන් අලෙවි සල් ආදිය ඉදිරිපිට දකින්නට තිබුණේ හිස් ගොඩවල් පමණක් බවත් පෙන්වා දෙන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ, සේවා සපයන ආයතන හා මහජනතාව මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලා ගත යුතුව තිබුණු බව ද පෙන්වා දෙයි.

පොලිසිය, ආරක්ෂක අංශ, දේශපාලන අධිකාරිය මෙම තත්ත්වය නියාමනය කළ යුතු බව සඳහන් කළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ බැංකු මෙන් ම වෙළෙඳසල් තුළ හා එම ආයතන ඉදිරිපිට ජනතාව පෝලිම් ගැහෙන්නේ නැති තත්ත්වයක් ඇති කිරීමට හා මීටරයේ පරතරය සිටින සේ ජනතාව හැසිරවීමට එම ආයතනවල සේවය කරන ආරක්ෂක අංශ යෙදවිය යුතුව ඇතැයි සඳහන් කරයි.

සංචරණ සීමා නීති ලිහිල්කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්නාහිර පළාත සඳහා ජනතාව විසින් පිළිපැදිය යුතු විශේෂිත උපදෙස් කිහිපයක් ප්‍රකාශයට පත්කළ නමුත් එම උපදෙස් පවා නිසි අයුරින් පිළිපදිනු දක්නට නොලැබුණු බව පෙන්වා දෙන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ, ජනතාව ලොකු පීඩනයකින් සිට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟගනිවෙස්වලින් පිටතට පැමිණ, ඔවුන්ගේ එදිනෙදා අතපසුව ගොස් තිබූ අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට යෑමේදී ඔවුන් සෞඛ්‍ය නීති ගැන සැලකිල්ලක් නොදක්වා ක්‍රියා කළ බව ඊයේ වාර්තා වූ සිද්ධීන් සාක්ෂි දරන බව ද පැවසීය.

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් මගින් මගීන් ප්‍රවාහනය කිරීමේදී ද සෞඛ්‍ය නීති නොසලකා හරිමින් ක්‍රියාකිරීමේ අවස්ථා වාර්තා වී ඇති අතර ජනතාව තමන්ගේ වගකීම් මේ අන්දමින් නොසලකා හැරීම හරහා කොවිඩ් පාලනය කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි ඔහු කීය.

ජේ.ටී. ද සිල්වා
Source – Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *