දරුවෙක් මේ තරම් දුර ගෙන එන්න ඒ අම්මා, තාත්තා මොන තරම් නම් දුක් විඳින්න ඇතිද..?
සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාව දිනා තම විද්‍යාලයටත්, මීතොටමුල්ල ගමටත් ඉමහත් කීර්තියක් අත්කර දුන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතිදක්ෂ සිසුවෙකු ඉතා දුර්ලභ වෛරස් රෝගී තත්ත්වයකින් අකාලයේ දිවියෙන් සමුගෙන තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි ඔනෙත් මෙත්මික සිසුවා.
ඔනෙත් මෙත්මික හුදෙක් ඉගෙනීමට පමණක් නොව, ක්‍රීඩාවට මෙන්ම දහම් අධ්‍යාපනයටද එකසේ දස්කම් පෑ දරුවෙක්.
2024 වසරේ සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් ඔහු, බ්‍රෙන්ඩන් කුරුප්පු ක්‍රිකට් ඇකඩමියේද පුහුණුව ලැබූ ජව සම්පන්න ක්‍රීඩකයෙක්.
එමෙන්ම වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම දහම් පාසලේ ශාසනාරක්ෂක දැනුම මිනුම තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත්, ගුරුවරුන් නිතරම ආදර්ශයට ගන්නා ලෙස සෙසු දරුවන්ට පෙන්වා දුන් විනයගරුක සිසුවෙක්.
ඔහු, මරණයට පෙර තම මව සමඟ පවසා ඇත්තේ “අම්මේ මම මෙදා පාර සාමාන්‍ය පෙළට A නවයක්ම ගන්නවා” යනුවෙන්.
එහෙත් එම බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමට පෙර දෛවය ඔහුව සොරාගෙන ගියේ කාගේත් ඇස්වලට කඳුලක් එක් කරමින්.
ඔනෙත්ගේ මරණයට හේතුවී ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ ADEM (Acute Disseminated Encephalomyelitis) යනුවෙන් හැඳින්වෙන ඉතා දුර්ලභ රෝගී තත්ත්වයකි. මෙය ලක්ෂ දෙකහමාරකට එක් අයෙකුට වැලඳෙන තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
ශරීරයේ රෝග ප්‍රතිරෝධක පද්ධතිය (Immune System) මගින් බැක්ටීරියා හෝ වෛරස්වලට පහර දෙනු වෙනුවට, මොළයේ සහ සුසුම්නාවේ ඇති ආරක්ෂිත පටලයට (Myelin) වැරදි ලෙස වටහාගෙන පහර දීම මෙහිදී සිදුවන බව වෛද්‍යවරු පවසනවා.
මෙය ශරීරය තුළින්ම හටගන්නා ක්‍රියාවලියක් වන අතර, ඔනෙත්ගේ මොළයේ ආරක්ෂිත ස්ථරයට හානි පැමිණීම හේතුවෙන් ලබාදුන් ඖෂධවලට පවා ඔහුගේ සිරුර ප්‍රතිචාර දක්වා නොමැති යවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ඔනෙත්ගේ පියා වන චාමර ධනුෂ්ක පවසා සිටියේ, “පුතාට කිසිම රෝග ලක්ෂණයක් තිබුණේ නැහැ. ඉතාම නිරෝගීව, ජව සම්පන්නව හිටියේ. පසුගිය සෙනසුරාදා වමනය සහ කරකැවිල්ල හැදුණු නිසා රෝහල්ගත කළා. MRI ස්කෑන් එකකදී තමයි හෙළි වුණේ මොළයේ පටල ගැලවී යන බව. රුධිර පීඩනය අඩුවෙලා හදවත නතර වුණා. පදක්කම්, කුසලාන කොච්චර තිබුණත් මගේ පුතා අද නැහැ,” යනුවෙන්.
ඔනෙත්ගේ මව වන ලක්ෂාරා හඬා වැලපෙමින් පවසා සිටියේ, ඔහු ඉතා කීකරු, ගුරුවරුන්ගේ ආදරය දිනාගත් දරුවෙකු බවයි. අශෝක විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඔහුගේ එකම මල්ලීට තම සොහොයුරාගේ වියෝව තවමත් අදහාගත නොහැකිව වේදනාවෙන් හඬනු කාගේත් ඇසට කඳුලක් එක් කළා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙවැනි රෝගී තත්ත්වයන් කල්තියා හඳුනාගතහොත් සුවකළ හැකි බවයි. ළමුන් අතර, ඇස් පෙනීමේ ගැටලු සහ අධික හිසරදය, සිරුරේ පණ නැති බව හෝ ඇවිදීමට අපහසු වීම, වලිප්පුව, වමනය හෝ සිහිමද ගතිය මෙන්ම දැඩි නිදිමත ගතිය සහ ව්‍යාකූල බව මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරු හඳුනාගෙන තිබෙනවා.
ඔනෙත් මෙත්මික දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 25 සවස කොලොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.























