සමහර වෙලාවට අපි ගන්න පුංචිම තීරණයක් අපේ මුළු දෛවයම වෙනස් කරනවා.
‘වාහනයට නගින්න’ කියද්දී ‘කමක් නෑ මම පයින් එන්නම්’ කියූ ඒ වචන කිහිපය එක් තරුණයෙකුගේ ජීවිතය බේරාගනිද්දී, ඔහුට පෙනි පෙනීම ඔහුගේ ආදරණීය සගයන් දෙදෙනාගේ හුස්ම පොද ‘දඩාස්’ යන හඬින් නතර වී ගියා.
පාලම් හදන්නට ආපු තරුණ සිහින පාලම් මැදම මෙලෙස පොඩිපට්ටම් වී යද්දී, අපිට ඉතිරි වන්නේ ‘ජීවිතය කියන්නේ මොන තරම් නම් අස්ථිර දෙයක්ද?’ කියන හදවත කම්පා කරන ප්‍රශ්නය පමණයි..
” රතු පාට මෝටර් රථය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරනවා දුටු මම නළාව නාද කර හදිසි තිරිංග ක්‍රියාත්මක කළා. ඒ එක්කම ” දඩාස් ” යන හඬින් එම රථය දුම්රියේ හැපුණා” යැයි ඊයේ (22) උදේ පයාගලදී මෝටර් රියක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් මිය ගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දුම්රිය රියැදුරු බේරුවල, බංගලාවත්තේ පදිංචි කොස්වත්ත ආරච්චිගේ දොන් මහේන්ද්‍ර මානවසාර (අවු.52) යන අය ප්‍රකාශ කළා.
මෙම අනතුරෙන් දියලගොඩ, පාළමේ ඉදිකිරීම් කරන සමාගමේ ව්‍යාපෘති පරිපාලන නිලධාරී රඹුක්කන, බෝලගම , ඇල්ලේදෙනියවත්තේ ,පදිංචි රණසිංහ ආරච්චිලාගේ පසිඳු සුපුන් රණසිංහ (අවු.22) හා එම සමාගමේ රසායනාගාර තාක්ෂණ නිලධාරී කරුණාරත්න මුදියන්සේලාගේ විහග රුක්ෂාන් බණ්ඩාර කරුණාරත්න (අවු.28) යන දෙදෙනා මිය ගොස් තිබුණා.
මෙම රථය පැදවූ එම සමාගමේ රියැදුරු බුලත්සිංහල, පරගොඩ පදිංචි දැදිගමුවගේ කුෂාන් ප්‍රදීප් (අවු.39) බරපතල තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක කේ.ඩී. චිරාත් භාරත ඉදිරියේ අද (23) පෙරවරුවේ පැවැති ඒ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසුවා.
” මම වසර 26 ක් දුම්රිය රියැදුරෙකු ලෙස රැකියාව කරනවා. ඊයේ (22) උදේ මම බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ අංක 57 දරණ ගාලු කුමාරි දුම්රියේ රියැදුරු වශයෙන් කටයුතු කළා. පයාගල රේල් ගේට්ටුවට සමීපව එනවිට වේලාව උදේ 8.41 යි. දුම්රියේ වේගය පැයට කිලෝ මීටර් 45 ක් පමණ වෙන්න ඇති. දුම්රිය මාර්ගයට සමාන්තරව ඇති ගාලු පාරේ මා ගමන් කළ දිශාවටම රතු පාට මෝටර් රථයක් ගමන් කළා.
එය එක්වරම රේල් ගේට්ටුවට අදාල සංඥාව ආසන්නයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට දැමීමට සූදානම් වන බව මගේ අත්දැකීම් අනුව වැටහුණා. ඒ අනුව මම නලාව නාද කළා. එහෙත් කැබ් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කළා. මම හදිසි තිරිංග ක්‍රියාත්මක කළා. ඒත් එක්කම ” දඩාස්” යන හඬින් කැබ් රථය දුම්රියේ ගැටී අඩි 420 ක් පමණ දුරට ඇදී ගියා.”
මෙහිදී මෝල්කාව , පුස්සමුල්ලේ පදිංචි පුස්සමුල්ලගේ මහේෂ් පෙරේරා (35) යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවා.
” මම ද මෙම ඉදිකිරීම් සමාගමේ ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වශයෙන් රැකියාව කරනවා .අපේ යන්ත්‍ර හා වාහන ගාල් කර තබන්නේ රේල් පාරට එහා තිබෙන තැනකයි. එතැනට යන්නේ ඔය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ඔස්සේයි. අපේ කැබ් එකේ රියැදුරු මටත් නගින්න කිව්වා. කමක් නැහැ මම පයින් එන්නම් කිව්වාම රථය මාවත් පහු කරගෙන පාරේ ඉදිරියට ගියා. මාත් එතැනට යෑම සඳහා පා ගමනින් ගියා. ඊට සමාන්තරව ඇති රේල් පාරේ දුම්රියක් ගමන් කළා. මෝටර් රථය හරස් මාර්ගයට ඇතුළු වනවාත් එක්කම ” දඩාස් ” ගාලා විශාල ශබ්දයක් ආවා. ඒ එක්කම අවට සෙනඟ මහ හඬින් කෑ ගැසුවා. මමත් දුවල ගියා අපි වාහනයේ දොරවල් කඩලා එහි සිරවී සිටි තිදෙනා පිටතට ගෙන රෝහලට යැව්වා.”
මියගිය විහංග රුක්ෂාන් යන අයගේ පියා වන කරුණාරත්න මුදියන්සේලාගේ සුනිල් කරුණාරත්න (59) සහ පසිඳු සුපුන් යන අයගේ පියා වන රණසිංහ ආරච්චිලාගේ නිමල් ශාන්ත රණසිංහ (48) යන අයද මෙහිදී සාක්ෂි දුන්නා.
මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි සහ කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්.ටී.බී. ගුණතිලක ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද සලකා බැලූ මරණ පරික්ෂකවරයා මෙම මරණ දුම්රියේ කැබ් රථය ගැටීමෙන් ඇතිවූ මොට බලය හේතුකොටගෙන හිසට , උරස් හා උදර ප්‍රදේශවලට ඇතිවූ තුවාල හේතුවෙන් සිදුවූ ඒවා බව නිගමනය කළා.