BREAKING NEWS
Search

“පුළුවන් නම් ආරක්ෂකයින් එක්ක පමණක් වතු නිවාසයකට එන්න” – ජීවන් තොන්ඩමන්ගෙන් ජනාධිපතිට අභියෝගයක්

0
වතුකරයේ ජනතාව ජීවත් වන සැබෑ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා හැකි නම් ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් පිරිවරාගෙන වතු නිවාස පේළියකට පැමිණ පරීක්ෂා කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජනාධිපති අනුර කුමාර දිසානායකට අද (22) අභියෝගයක් කළා.

කොටගල කෝවිල් සංස්කෘතික ශාලාවේ අද (22) පෙරවරුවේ පැවති එම පක්ෂයේ විශේෂ රැස්වීමකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාව වතුකරයේ සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් නොකරන බව මෙහිදී මන්ත්‍රීවරයා චෝදනා කළා.

එම නිසා ජනාධිපතිවරයා සෘජුවම වතු නිවාසවලට ගොස් ජනතාවගේ ජීවිත පිළිබඳව සොයා බලා, ඒ පිළිබඳව වතු පාලනාධිකාරියෙන් සහ වතු සමාගම්වලින් කරුණු විමසන ලෙසට ඔහු මෙලෙස අභියෝග කර සිටියා.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ බව කියන අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී රජයට බල කර සිටියා.

එම ගිවිසුම හෙළිදරව් නොකිරීම තුළින්, වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් නොමැති බව ඔහු සඳහන් කළා.

තමන් අමාත්‍යවරයාව සිටි සමයේ ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ආරම්භ කළ වතු නිවාස ව්‍යාපෘති රැසක වැඩ කටයුතු මේ වන විට ඇතැම් වතුවල නතර වී ඇති බවත්, ඒවා අවසන් කිරීමට රජය සතුව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ තමන් අගය කරන නමුත් ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය තමන් තරයේ හෙළා දකින බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.

වතු කම්කරු වැටුප් වැඩි කළ ද වතු සමාගම් විසින් ලබාදුන් සුබසාධන කටයුතු කප්පාදු කර ඇති බැවින්, වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *