BREAKING NEWS
Search

අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

0

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සම්බන්ධව කරුණු රැසක් පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

ඒ අනුව පොලීසිය පැවසුවේ අදාළ වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙකු බවත් ඔහු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවටත් විමර්ශනවලදී අනාවරණය වූ බවය.

පසුගිය 13 වැනි දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පසුගිය 16 වැනි දින කොට්ටාව හා අතුරුගිරිය පොලිස් වසම්වලදි සහ 17 වැනි දින කහතුඩුව පොලිස් වසමේදී මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධව පුළුල් විමර්ශන ආරම්භ කර තිබූ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) දිනයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දූව ප්‍රදේශයේදී මෙම අපරාධයේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබූ අපරාධය සඳහා භාවිත කළ ජංගම දුරකථනයක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් එම සැකකරු අවුරුදු 46ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය.

සැකකරු අද (22) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *