BREAKING NEWS
Search

වැලන්ටයින් සැමරීමට ලක්ෂ 8ක් වැය කළ හොරා කොටු වෙයි: කෝටියක රන් භාණ්ඩ සොයා ගැනේ

0
Share Post

කිසිදු රැකියාවක නිරත නොවී, නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සැකකරුවෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, විවිධ උකස් මධ්‍යස්ථානවල තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් අද (20) දින සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු පසුගිය පෙබරවාරි 12 වන දින නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

එම භාණ්ඩ උකස් කර ලබාගත් රුපියල් ලක්ෂ 8ක මුදලක් වැය කරමින්, පෙබරවාරි 14 වන දින සිය බිරිඳ සමඟ සුඛෝපභෝගී ලෙස වැලන්ටයින් උත්සවය සමරා ඇති බව පොලිසිය පවසනවා.

නිට්ටඹුව, රන්පොකුණගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මෙම තිදරු පියා දැඩි ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් වන බවත්, ඔහුට දිනකට මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 50,000ක් පමණ අවශ්‍ය වන අතර, එම මුදල් සොයා ගැනීම සඳහා ඔහු රාත්‍රී කාලයේදී නිට්ටඹුව සහ අත්තනගල්ල ප්‍රදේශවල නිවාස බිඳ මෙම සොරකම් සිදු කර ඇති බවත් පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදියක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොහු ගෙවල් බිඳුම් සහ සොරකම් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු 08ක් සහිත පුද්ගලයෙකු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුගෙන් ලද තොරතුරු මත, සොරකම් සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *