නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් අවාසනාවන්ත සහ අමුතුම විදියේ මාරක රිය අනතුරක්.
විදුලි වේගයෙන් ආපු මෝටර් රථයක් පාලනය කරගන්න බැරුව සිදුවූ අනතුරකින් අහිංසක තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙලා.
නාරම්මල ඇසල උයන හන්දිය අසලදී මුලින්ම මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. වේගයෙන් ගිය රථය ගැටී ඇත්තේ අසල තිබූ විදුලි කණුවකයි. පහරේ සැරටම විදුලි කණුව මුලින්ම ඉදිරී පාර හරහා ඇද වැටී තිබෙනවා.
හරියටම ඒ මොහොතේම කුරුණෑගල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට මේ වැටුණු විදුලි කණුව මඟහැර ගන්න ලැබී නැහැ. පාර හරහා වැටුණු විදුලි කණුවේ යතුරුපැදිය ගැටී සිදුවූ බරපතල අනතුරින් එම තරුණයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවසන් හුස්ම හෙළා තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ උහුමිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.
අනතුරට හේතු වූ මෝටර් රථයේ රියදුරු මේ වන විට වීරඹුගෙදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් රියදුරෙකුගේ නොසලකා හැරීමක් නිසා තවත් වටිනා ජීවිතයක් මෙලෙස අහිමි වී යාම ගැන ප්‍රදේශවාසීන් පසුවන්නේ දැඩි කම්පනයකින්.



















