BREAKING NEWS
Search

අපි දැන් කියුබාව වගේ වෙමින් ඉන්නේ..- වටගල

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳි විශ්‍රාම වැටුප් වරප්‍රසාදය අහෝසි කිරීම හරහා වත්මන් රජය ලබාදෙන දේශපාලනික ආදර්ශය හේතුවෙන් ශ්‍රී ලංකාව කියුබාව වැනි රටකට සමීප වෙමින් පවතින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශ්‍රාම වැටුප් පනත පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක කුසලාන තරගාවලියේදී පැතුම් නිස්සංක ශතකයක් ලබාගත් අවස්ථාව බිලියනයකට අධික පිරිසක් නැරඹූ සේම, මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත කෙරෙහිද මහජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවයි.

වසර 48කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හඳුන්වා දී, එක්සත් ජාතික පක්ෂය විසින් පෝෂණය කරන ලද මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අවසන් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 165 වැනි පිටුවේ සඳහන් වූ අතිවිශිෂ්ට මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් බව ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළා සේම මන්ත්‍රී විශ්‍රාම වැටුපද අහෝසි කිරීම හරහා එම ජනවරම ඓතිහාසික ලෙස සනිටුහන් කර ඇති බව වටගල මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මීට පෙර පෞද්ගලික මන්ත්‍රී යෝජනා මගින් විශ්‍රාම වැටුපට එරෙහිව අදහස් දක්වා තිබියදී, අද දින මෙම පනතට විරුද්ධ වීම තුළින් ඔවුන්ගේ දේශපාලන පරස්පරතාව මැනවින් පෙන්නුම් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.

ජාතික ජන බලවේගය සතු සාමූහික සංස්කෘතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මාලිමාවේ කාගේ හරි වහලක් කැඩුනොත් පිරිවරාගෙන ගිහින් හදන” වැඩපිළිවෙළක් තමන් සතු බවයි. දශක ගණනාවක් දේශපාලනය කළද, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නිවෙසක වහලක් කැඩුණු විට එය සාදා ගැනීමට හෝ මිනිසුන් නැති තත්ත්වයට ඔවුන් පත්ව ඇති බව වටගල මහතා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ කෝටි ගණනට මන්ත්‍රී ධූර විකුණන සහ පක්ෂ මාරු කරන දූෂිත ක්‍රමවේදයක් පැවති බවත්, ඉදිරියේදී ගෙන එන නව සංශෝධන මගින් පක්ෂය මාරු කරන මන්ත්‍රීවරයෙකුට සිය ධූරය අතහැර යාමට සිදුවන නීතිමය පසුබිමක් සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *