මල්කැකුලක් අකාලයේ මිලින වූ මේ පුවත කිසිවෙකුට අදහාගන්න බැරි තරම් සංවේදී කාරණයක් වුණා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක් ගැනයි.
කෑගල්ල මොළගොඩ හරහා අත්තනගොඩ මාර්ගයට වැටී තිබුණු වැළ ගෙඩියක් මතින් යතුරුපැදියක් ධාවනය කිරීමෙන් යතුරුපැදිය පෙරළී බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දැරිය පෙරේදා මිය ගොස් ඇතැයි කෑගල්ල පොලීසිය පැවසුවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අත්තනගොඩ කරඩුපන වත්තේ අංක 25/ ඒ
ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 2යි මාස 11ක් වයසැති දිනේෂ් කුමාර වයිෂා නමැති දැරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කියා සිටියේ මිය ගොස් ඇති දැරියගේ පියා කෑගල්ල ගලිගමුව කාර්මික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කලක සිට සේවය කරන බවත් ඉකුත් 02 වැනිදා පෙරවරුවේ උපදේශකවරයා සිය බිරිය යතුරුපැදියේ පිටුපස අසුනේ ද වයස අවුරුදු දෙකයි මාස 11ක් වන දියණිය හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියේ ඉදිරිපස ද තබාගෙන කරඬුපන වත්ත නිවසේ සිට කෑගල්ල බලා අධික බෑවුම් සහිත කන්ද පහළට යතුරුපැදිය පදවා ඇති බවයි.
අත්තනගොඩ මොළගොඩ හරහා කෑගල්ල මාර්ගයේ මොළගොඩ ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේ දී ඇති කොස් ගසක ඉදුණු වැළ ගෙඩියක් මාර්ගයට වැටී ඇති අතර, වැළ ගෙඩිය මතින් යතුරුපැදිය ධාවනය කිරීමෙන් පසු යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළී දැරිය බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යවා මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා අලුයම මියගොස් තිබුණා.
මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (09) මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේනසිංහ මහතා විසින් සිදු කරන ලදි. රිය අනතුරක් හේතුවෙන් හිසට හානි වීමෙන් මරණය සිදුව ඇතිබව මහනුවර හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා මහතා තීන්දු කළා.
විමර්ශනය සිදු කරන ලද පොලීසිය කියා සිටියේ මියගිය දැරිය පවුලේ එකම දරුවා බවත් දැරියගේ හදිසි මරණය අසා පියා කම්පනයට පත්ව වස පානය කර කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය පැවසුවා.
පැදිකරු වන 35 හැවිරිදි බාල ක්‍රිෂ්ණන් දිනේෂ් කුමාර නමැති පියාගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බවත් පොලිසිය පැවසුවා.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..



















