ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්, සිනමා ඉතිහාසයේ අමතක නොවන මවගේ චරිතයට පණ පෙවූ සම්මානනීය රංගන ශිල්පිනී කැතරින් ඕ’හාරා (Catherine O’Hara) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 71 වැනි වියේ පසුවුණා.
අදටත් නත්තල් කාලයට ලංකාවේ අපිටත් නැතුවම බැරි “Home Alone” චිත්‍රපටයේ කෙවින්ගේ (මැකෝලි කල්කින්) අම්මා ලෙස ඇය කළ රංගනය කිසිවෙකුටත් අමතක නැහැ. කෙටි කලක් රෝගාතුරව සිටි ඇය, ලොස් ඇන්ජලීස් හි පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙළූ බවයි ඇයගේ නියෝජිත ආයතනය තහවුරු කරන්නේ.
කැතරින්ගේ වියෝවෙන් වඩාත්ම කම්පනයට පත්ව ඇත්තේ ඇයගේ සිනමා පුත්‍රයා වූ මැකෝලි කල්කින්. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සංවේදී සටහන කාගේත් දෑසට කඳුළු උනන එකක් වුණා.
“අම්මේ, මම හිතුවේ අපිට තව කාලය තියෙයි කියලා. මට ඕන වුණා ඔයාගේ ළඟින් වාඩි වෙලා තව හුඟක් දේවල් කතා කරන්න. මම ඔයාට ආදරෙයි.” – මැකෝලි කල්කින්
මීට වසර දෙකකට පෙර මැකෝලිට හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් තරුව හිමි වූ අවස්ථාවේදීත් කැතරින් ඔහු අසලින්ම සිටියා. එදා ඇය විහිළුවට වගේ කිව්වේ, “එක් වරක් නොව දෙවරක්ම ඔයාව ගෙදර තනියම දාලා ගිය ඔයාගේ බොරු අම්මාව මේ අවස්ථාවට එක් කරගත්තාට ස්තූතියි” කියලයි.
“Home Alone” අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් පවසන්නේ මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් 50%ක්ම රඳා පැවතුණේ කැතරින්ගේ දක්ෂතාවය මත බවයි. ඇය නොසිටින්නට එම චිත්‍රපටය මෙතරම් සාර්ථක නොවනු ඇති බව ඔහු පවසනවා.
“Home Alone” විතරක් නෙමෙයි, “Beetlejuice” සහ මෑතකදී අතිශය ජනප්‍රිය වූ “Schitt’s Creek” හරහාද ඇය ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා.



















