අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය ගැන ඇසෙන සෝචනීය ආරංචිය

0

අත්හිටුවීමට එරෙහිව ආයෝජකයින්ගෙන් දැඩි විරෝධයක් – ආයෝජන ඉවත් කරගැනීමේ සූදානමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ, එම ව්‍යාපෘතියේ ආයෝජක Amber Adventures (Pvt) Ltd සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ දැඩි තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තා වේ. සමාජ මාධ්‍ය හරහා පැතිර යන අසත්‍ය තොරතුරු සහ පැමිණිලි පදනම් කරගනිමින්, නිසි තාක්ෂණික සොයා බැලීමකින් තොරව මෙම අත්හිටුවීම සිදුකර ඇති බව ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් එම සමාගම දන්වා සිටියි.

මෙම ව්‍යාපෘතිය මෙරට දැඩි ආර්ථික අර්බුදයක පැවති 2022 වසරේදී ශ්‍රී ලංකාව, ඇමරිකාව සහ චීනය යන රටවල ආයෝජකයින් එක්ව ආරම්භ කර ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 12.75 ක ආයෝජනයක් සැලසුම් කර ඇති අතර, මේ වන විටත් ඩොලර් මිලියන 3.5 ක් (රුපියල් බිලියනයකට අධික මුදලක්) ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කර අවසන් බව සමාගම පවසයි. වසර 13 කට පසු රුපියල් බිලියන 5 කට අධික වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය රජයට නොමිලේ පැවරීමට නියමිතව තිබියදී මෙලෙස බාධා කිරීම් සිදුවීම කණගාටුදායක බව ඔවුහු පෙන්වා දෙති.

ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන නායයෑම් චෝදනා පදනම් විරහිත බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් සිදුකළ පරීක්ෂණවලින් එම ස්ථානවල ස්ථාවරත්වය තහවුරු කර ඇති බවත් ලිපියේ සඳහන් වේ. මීට පෙර උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් සිදුකළ අත්තනෝමතික බාධා කිරීම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඇයට රුපියල් ලක්ෂයක පුද්ගලික වන්දියක් ගෙවන ලෙස නියෝග කළ බවත්, එම තීන්දුව මගින් ඇයගේ ක්‍රියාකලාපය ද්වේෂසහගත බව තහවුරු වූ බවත් ආයෝජකයින් සිහිපත් කරයි.

ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමු කරමින් Amber Adventures සමාගම අවධාරණය කරන්නේ, දේශපාලනික සහ පුද්ගලික හේතු මත රාජ්‍ය ආයතන විසින් සිදුකරන මෙම අඛණ්ඩ බාධා කිරීම් හමුවේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි. ඒ අනුව, මෙතෙක් සිදුකළ ආයෝජන සහ පාඩුව වන්දි වශයෙන් අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත්, ව්‍යාපෘතිය නතර කිරීමටත් තීරණය කර ඇති බව ඔවුහු වැඩිදුරටත් දන්වා සිටිති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *