මා කුඩා කාලයේදී අසල් වැසි නිවසකට ඉදිරිපසට වීදුරුවක් දැමූ සිමෙන්තියෙන් තැනූ මාළු ටැංකියක් ගෙනෙන ලද අතර එයට රතුපාට ලස්සන මාළු වර්ගයක් දැමීය. ඒ දවස්වල අද මෙන් වීදුරුවලින් තනා ඔක්සිජන් බට සහ විදුලි බුබුළු දමූ මාළු ටැංකි නොතිබුණු අතර, බහුලව නිවෙස්වල පැවතියේ සිමෙන්තිවලින් තනන ලද මාළු ටැංකි පමණි. නිවසට පැමිණි මා මේ පිළිබඳව පැවසුවද මට මාළු ටැංකියක් නොලැබුණි. මාගේ මව මාහට එකල හෝර්ලික්ස් ලොකු ප්‍රමාණයේ බෝතලයක් සොයාදුන් අතර, මා එයට ජලය දමා අපගේ නිවස අසල පැවති ඇළකට ගොස් බොහෝම අපහසුවෙන් මාළු කීපදෙනෙක් අල්ලා බෝතලයට දමාගෙන රටක් රාජ්‍යයක් ලැබුණු ලෙස සතුටින් සිටියෙමි. මා රාත්‍රියට පවා මේ මාළුන් සිටින බෝතලය නිදාගත් පැදුර ළඟින් තබා ගත්තෙමි. දිනක් පාසල ඇරී ගෙදර ආ විගස මාළු බෝතලය බලන්නට ගියෙමි. මාළු බෝතලය බලන විට මා දුටුවේ මාළුන් කීපදෙනෙකු මැරී උඩ පාවෙමින් තිබෙන අයුරු ය. එදා තරම් මාගේ ජීවිතයේ දුක් වුණ අවස්ථාවක් නොවීය. පසුව ඉතිරිව සිටි මාළුන් කීපදෙනා අර ඇළට දමා ආපසු ගෙදර ආවේ යළි කවදාවත් මාළුන් හදන්නේ නැති බවට අධිෂ්ඨාන කර ගනිමිනි
ඇත්තටම ගෙවල්වල සුරතල් මාළුන් ඇති කිරීම එකල මෙන් නොව වර්තමානයේ බොහෝ දෙනෙකු සිදුකරයි. ව්‍යාපාරයක් වශයෙන් ද සුරතල් මසුන් ඇති කිරීම සිදුකරයි. බොහෝ නිවෙස්වල මාළුන් ඇති කරන්නේ අලංකාරය පිණිසය. සෑම නගරයකම අද සුරතල් මසුන්, ඔවුන්ට දෙන ආහාර, ඔක්සිජන් ටැංකි, අලංකාර වීදුරු ටැංකි අලෙවියට පවතියි. නිවෙස්වල මෙන්ම විශාල හෝටල්වල, රෝහල්වල, කාර්යාලයවල පවා අද අලංකාර මාළු ටැංකි මෙන්ම ලක්ෂ ගණන් වටිනා මාළුන් ද දැකිය හැක.
අද වනවිට මෙම අලංකාර මත්ස්‍ය ව්‍යාපාරය ඉතාමත් දියුණු ව්‍යාපාරයක් බවට පත්වී ඇති අතර රටට ඩොලර්ද උපයා දේ. එසේ නම් නිවසකට අලංකාරය පිණිස ඇති කරන මාළු ටැංකියක් තබාගැනීම වාස්තු විද්‍යාත්මකව කොතරම් දුරට ගැළපෙනවාද? එය නිවැසියන්ගේ ජීවිතවලට කුමන බලපෑමක් කරනවාද යන්න බලමු.
මාළු ටැංකියක් නිවසක තබා ගැනීමේදී බොහෝ දුරට අරමුණ වන්නේ අලංකාරයයි. තමන් ගිය නිවසක හෝ කාර්යාලයක මාළු ටැංකියක් දුටු විට එහි අලංකාරය, සුරතල් මසුන් සිටින අයුරු දැක තමන්ගේ නිවසට ද ටැංකියක් තබාගැනීමට ආශාවක් ඇතිකර ගනී. තවත් සමහරු මාළුන් ඇති කරන්නේ ටැංකියේ සිටින මාළුන් එහාට මෙහාට පීනන අයුරු, වරල් ගසන අයුරු මෙන්ම ජලයේ රිද්මය දෙස බලාගෙන ආධ්‍යාත්මිකව සිටීමටය. කෙසේ වුවද මාළුන් දෙස බලාගෙන වැඩි වේලාවක් සිටීමෙන් හදිසි කෝපය, වෛරීය චේතනාවන් ගෙන් මිදී මානසික සුවයක්, සන්සුන් මනසක් සදාගැනීමට පුළුවන.
මාළු ටැංකියක් නිවසේ තබාගත යුතු හොඳම ස්ථානය පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලුකාරී තත්ත්වයන් හටගෙන ඇත. ගිනිකොන දිශාවේ නිවසේ මූල්‍ය ශක්තිය, ධන ශක්තිය වැඩිකිරිමේ හැකියාව පවතියි. මේ නිසා බොහෝ දෙනෙකු සිතන්නේ නිවසේ මාළු ටැංකියට සුදුසුම දිශාව වන්නේ ගිනිකොන දිශාව බවයි. පසුගිය දිනක නිවසක් පරීක්ෂාවට ගිය අතර එම නිවසේ වාස්තු උපදේශකයකුගේ උපදෙස් මත මාළු ටැංකිය තබා තිබුණේ ද ගිනිකොන දිශාව තුළය. එය ඉතාම වැරදිය. ගිනිකොන දිශාව ගින්දරට අයත් දිශාවකි. උණුසුම පිටවෙන දිශාව වන්නේ වයඹ, ගිනිකාන දිශා යාවෙන රේඛාවෙන්ය. නිවසක් දිනෙන් දින සක්‍රීයව පැවතීමට ගිනිකොන උණුසුම්ව පැවතිය යුතුයි. ඒ නිසා තමයි මුළුතැන්ගෙය ගිනිකොනට ගතයුතු බව පවසන්නේ. ඒ උණුසුම අවශ්‍ය කරන ගිනිකොන දිශාව සිසිල්කරන ජල ටැංකියක් තැබීමෙන් සිදුවන්නේ උණුසුමට බාධා කිරීමකි. ශක්තීන් අතර ගැටුමක් එයින් නිර්මාණය වී නිවසේ සක්‍රීය බව අඩුවේ. ශුභ ශක්තීන් අශුභව ගමන් කරනවා. එවිට නිවසේ කලින් තිබුණු තත්ත්වය ටික දිනකින් වෙනස් වෙනවා. මූල්‍ය දුෂ්කරතා, මානසික පීඩා, ආර්ථිකය දුර්වලතා පටන් ගන්නවා. ව්‍යාපාරයක, කාර්යාලයක මේ ආකාරයට ගිනිකොන දිශාවේ මාළු ටැංකිය තැබීමෙන් සේවක ගැටලු, නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වලවීම, මූල්‍ය දුෂ්කරතා හට ගන්නවා. ඒක අද කියලා හෙට වෙන ක්‍රියාදාමයක් නොවන අතර දිනෙන් දින සක්‍රීයවන ක්‍රියාවලියක්.
එසේ නම් මාළු ටැංකිය නිවස අභ්‍යන්තරයේ තබනවා නම් ශුභම දිශාවන් ලෙසට ගණන් ගැනෙන්නේ උතුර, ඊශාන, නැගෙනහිර දිශාවන්ය. නමුත් අප හොඳින් අවබෝධ කරගත යුතු දේ තමයි මෙහි තබන මාළු ටැංකියේ ජලය ඉතාමත්ම පවිත්‍ර වියයුතු බව. බීමට පවා සුදුසු තත්ත්වයේ පැවතිය යුතුයි. එසේ තිබේ නම් එම නිවසට නිවැසියන්ට යහපත් මානසික තත්ත්වයක් ඇතිකරයි. නව්‍ය අදහස්, චිත්ත ප්‍රීතිය, සැනසීම, නිර්මාණශීලී අදහස් පහළ වේ. කේන්තිය, හදිසි ආවේග පාලනය වේ. ඊශාන දිශාව තුළ තැබීමෙන් විශ්ව ශක්තිය වැඩිපුර ළඟාවේ. නමුත් ජලය පල්වෙන්න තියලා අපිරිසිදුව මාළු ටැංකිය තැබුවොත් වෙන්නේ මේකේ අනෙක් පැත්තය. අශුභ ශක්තීන් ළඟාවීම, නොපෙනෙන බලවේග ඇතුළුවීම, අවාසනාව, දුක, ශෝකය, අලසකම, කේන්තිය, නුරුස්සන බව ඇතිවේ.
එම නිසා පිරිසිදුකම නිසා ලැබෙන ශුභදායක පැත්තට වඩා අපිරිසිදුකම නිසා අශුභදායක තත්ත්වය වැඩිවේ. එලෙස ඇතිවෙන අශුභදායක තත්ත්වයන් ඉවත්කර ගැනීම සඳහා කාලයක් පුරා පූජා පිළිවෙත් කිරීමට සිද්ධ වේ.
නිවස ඇතුළත තබන මාළු ටැංකිය ප්‍රධාන ද්වාරයට ඍජුව පවතින ලෙස තැබීම අශුභයි. එය වේධ දෝෂයක් බවට පත්වීමට හැකිය. නිවස අභ්‍යන්තරයේ ද ප්‍රධාන ද්වාරයට ඍජුව නොතැබිය යුතුය. මුදුන් යටලී, සෙසු යටලී, බාල්ක, කුරුපා ආදිය හරි මැදට වැටෙන ලෙස මාළු ටැංකිය තැබීමෙන් ධනය හානිවීම, සෞඛ්‍ය පිරිහීම, මානසික පීඩා ඇතිවීමට ඉඩ පවතී. නිවසේ පඩිපෙළට යටින් මාළු ටැංකිය තැබීමත් අශුභයි. පඩිපෙළ යට පවතින අශුභ ශක්තීන් බහුලයි. කල්යත්ම මාළු ටැංකියේ මත්ස්‍යයන් මරණයට පත් වීමද සිදුවේ. නිවසේ බ්‍රහ්මපාදය මත මාළු ටැංකිය තැබීමෙන් නිවැසියන්ගේ විනාශය ඉක්මන් වේ. සියල්ල උඩු යටිකුරු වේ. නිවස පාළුවේ.
විසිතුරු මත්ස්‍යයන් අතරින් ගෝල්ඩ් ෆිෂ් (Gold Fish) මත්ස්‍යයාට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ බැංකුවල, ෆිනෑන්ස් ආයතනවල මාළු ටැංකිවල මෙම ගෝල්ඩ් ෆිෂ් මාළුන් දමන්නේ නිකම්ම නොවේ. එයින් ඔවුන් එම ආයතනවල මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට අපේක්ෂා කරයි. නිවසේත් මූල්‍ය දුෂ්කරතා නැතිකර ගැනීමට ගෝල්ඩ් ෆිෂ්, කහපාට වර්ගයේ මාළුන් 07ක් හෝ 09ක් පමණ ටැංකියට දමන්න. ඊශාන, උතුර, නැගෙනහිර දිශාවන්ට අමතරව බස්නාහිර දිශාවේත් මාළු ටැංකියක් තැබීමේ එතරම් ගැටලුවක් නොමැත. විශේෂයෙන් උතුර, ඊශාන, නැගෙනහිර දිශාවල පවතින පොඩි පොඩි වාස්තු දෝෂයන්ට පිළියමක් ලෙස ඉතාමත්ම පිරිසිදුව මාළු ටැංකිය පවත්වාගෙන යෑමට හැකි නම් මෙම දිශාවල ආපෝ ධාතුව හෙවත් ජල ධාතුව සක්‍රීය කරගෙන නිවසේ දියුණුව ඇතිකර ගන්න පුළුවන්. මාළු ටැංකියේ දමා ඇති මාළුවන් නිතරම ටැංකිය උඩම සිටිනවා නම් එයින් අදහස් වන්නේ එම ස්ථානය ඒ සඳහා සුදුසු නොවන බවය. ඔක්සිජන් මද භවත්, අශුභ ශක්තීන් පවතින බවත් එයින් පෙන්නුම් කෙරේ. මෙම කරුණු මත නිවසේ මාළු ටැංකියක් තබා ගැනීම, දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග යන පැරණි කියමන සිහිගන්වයි.
වාස්තු විද්‍යා විශාරද වාස්තු විද්‍යා ශිරෝමනී දේශමාන්‍ය, සාම විනිසුරු
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,



















