රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
සාමාන්‍යයෙන් මිනිස්සු ජීවත් වෙන්න ගෙවල් දොරවල් හදන්න ලක්ෂ ගණන් වියදම් කළාට, තමන් මැරුණම වළලන්න ඕන තැන තමන්ම හදාගන්නවා කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි.
හැබැයි මේ අපූරු පුවත වාර්තා වෙන්නේ අසල්වැසි ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයෙන්.
ජග්ටියල් දිස්ත්‍රික්කයේ ලක්ෂ්මිපුරම් ගම්මානයේ පදිංචි 80 හැවිරිදි නක්කා ඉන්ද්‍රයියා දැන් මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙක්. ජීවිත කාලය පුරාම නිවාස, පාසල් සහ පල්ලි පවා ඉදිකර ඇති මොහු, තමන්ගේ අවසාන නවාතැන ගැන හිතලා තියෙන්නේ හරිම අපූරු විදිහකටයි.
තමන්ගේ ආදරණීය බිරිඳ මියගිය පසු ඇයගේ සොහොන අසලම තමන් වෙනුවෙන්ද සොහොනක් හදාගන්න මොහු තීරණය කළා. තමිල්නාඩුවෙන් පෙදරේරුවන් ගෙන්වලා, ඉතා උසස් තත්ත්වයේ ග්‍රැනයිට් ගල් යොදාගෙන නිම කළ මේ සොහොනට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැය වෙලා තිබෙනවා.
ඇයි ඔහු මෙහෙම කළේ? මේ ගැන ඉන්ද්‍රයියා කියන්නේ හරිම ලස්සන කතාවක්.
“මම මැරුණට පස්සේ මගේ දරුවන්ට මගේ අවමංගල්‍ය කටයුතු කරදරයක් වෙන්න ඕන නෑ. මරණය කියන්නේ කාටවත් නතර කරන්න බැරි දෙයක්. අපි උපයන කිසිම දෙයක් මරණින් මතු අරන් යන්නත් බෑ.”
දැන් මේ 80 හැවිරිදි පුද්ගලයාගේ දෛනික සිරිත වෙලා තියෙන්නේ තමන්ගේ මියගිය බිරිඳගේ සහ තමන් වෙනුවෙන්ම හදාගත් සොහොන පිරිසිදු කරන එකයි. ඔහු දිනපතා එහි ගොස් පැළවලට වතුර දමා, ටික වේලාවක් එහි වාඩි වී සිටිනවා.
සොහොන මත ජීවිතය සහ මරණය ගැන වැදගත් පණිවිඩයක් ඇතුළත් පුවරුවක්ද ඔහු ප්‍රදර්ශනය කර තිබෙනවා. අනිත් අය මේ ගැන දුක් වුණත්, ඉන්ද්‍රයියා නම් ඉන්නේ හරිම සතුටින්. ඔහු පවසන්නේ තමන්ගේ අවසාන ගමනට අවශ්‍ය සියල්ල තමන්ම සූදානම් කරගැනීම තෘප්තියක් බවයි.

















