දෙහිඅත්තකණ්ඩිය මහියංගණය ප්‍රධාන මාර්ගයේ ඉකුත් (17දා) බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ වයස අවුරුදු 04ක කුඩා පුතා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වූහ. ත්‍රිරෝද රථයේ රියැදුරු වූ පියා සහ අවුරුදු 10ක වැඩිමල් පුතු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලැබූහ. නමුත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බිම්සර සදෙව් අබේවර්ධන පුතනුවන්ට ද ( අවුරුදු 10) ජීවත්වීමේ වාසනාව අහිමි විය. මව වූ එස්.බී.දිස්නා අයිරාංගනී සහ බාල සොහොයුරා වූ සෙත්මිණ දින්ෂාන් (අවුරුදු 04) සමග අවසන් ගමන් යෑමට ඔහුටත් සිදුවිය.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 163ක් රැගෙන නාගස්වැව ප්‍රාථමික විදුහලට කීර්තියක් අත්කර දුන් එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ බිම්සර සදෙව් ගැන විදුහල්පති නිලන්ත සමරතුංග මහතා සංවේදීව මෙසේ අදහස් දැක්වීය. “ මේ මියගිය සදෙව් පුතා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. දීප්තිමත් දරුවෙක්. හැම අයකුගේම ආදරය කරුණාව දිනාගෙන වැඩ කළ කෙනෙක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 163ක් ලබාගෙන අපේ පාසලේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් සිසුවා බවට පත් වුණා.
පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට නිර්මාණශිලීව වැඩ කළා. අම්මා තාත්තා ගොඩාක් දුක් මහන්සි වුණා දරුවාට උගන්වන්න. ඒ ගැන හොඳ අවබෝධයක් දරුවට තිබුණා. අම්මා තාත්තා දෙන්නත් පාසලේ සෑම කටයුත්තකටම නොපැකිලව ඇවිත් උදව් කරනවා. අපි හැමදෙනාම මේ දරුවාගේ ලස්සන අනාගතයක් ගැන හීන දැක්කා.
අද ඒ සියලු හීන බොඳ කරමින් තාත්තා විතරක් මේ ලෝකේ තනිකරලා අම්මත්,අයියත්,මල්ලිත් තුන්දෙනාම නාගස්වැව කනත්තේ පස් අතර සැඟවී ගියා.
සදෙව් පුතුට සිප්සතර ලබාදුන්නේ පන්තිභාර ගුරුතුමිය ඒ. එම්. චන්ද්‍රිකා ශ්‍රියානි ගුරු මාතාවය. ශිෂ්‍යත්වය සමත්වීම වෙනුවෙන් සදෙව් පුතුට පැලඳවීමට සකස් කළ රන් පදක්කම සහ පිරිනැමීමට සූදානම් කළ සහතිකය දෑතට ගත් ඇය ගලා හැලෙන කඳුළු අතරින් මෙසේ වචන ඇමුණුවාය.

“ මට මගේ දරුවගේ මරණය හීනයක් වගේ. මට තවත් විශ්වාස කරන්න බැහැ ඔහු මැරුණා කියලා. දරුවාගේ අම්මත් කුඩා සොහොයුරාත් අරගෙන නිතරම පාසලට එනවා. මේ පවුලේ අය අපේ ඉස්කෝලේ එක්ක හරිම සමීපයි. ඒ නිසා ම මේ මරණ තුන අපි හැමෝටම දරා ගන්න බැරි දුකක් ඇති කර තිබෙනවා.
මේ පුතා ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි. තමන්ගේ පාඩම් වැඩ ඉක්මනින් අවසන් කරලා අනිත් දරුවන්ටත් උදව් කරනවා. හිතේ කිසිදු තරහක් අමනාපයක් නැති දරුවෙක්. එයාට මේ ගතිගුණ පවුලෙන් ආව ඒවා. අපි හැමෝම කවදා හරි මැරෙනවා තමයි.
ඒත් සොබා දහම මේ වගේ අහිංසක මල් කැකුළු ඉක්මනින් පස් යට කරන්නේ ඇයි… ඇය තවමත් හඬන්නීය.
කුඩා සෙත්මිණ පුතුගේ හතරවන උපන් දිනය යෙදී තිබෙන්නේ ජනවාරි 04 දිනටය. දෙහිඅත්තකණ්ඩිය නාගස්වැව ගම ම හඬවමින් ඉකුත් 21 වැනිදා සවස ඔවුහු තිදෙනා අවසන් ගමන ගියහ.
දෙහිඅත්තකණ්ඩිය – රණතුංග සහ දිඹුලාගල ප්‍රසන්න සිල්වා


















