මගේ මහත්තයා පොලිසියේ හිටියට සිගරැට් එකක්වත් බොන්නෙ නැහැ. කුරා කූඹියෙකුටවත් වරදක් නැති මහත්තයට මෙවැනි විපතක් සිදුවීම හිතා ගන්නවත් බැහැ, වැලිපැන්න පොලිසියේ සේවය කරමින් සිටියදී හදිසි රිය අනතුරකට ලක්ව මියගිය පොලිස් සැරයන් (41090) ජී. උපුල් සමන්ත මහතාගේ (54) බිරිය වන ඩබ්ලිව්. එම්. දමයන්ති මහත්මිය (46) අඬා වැළපෙමින් කීවාය.
අහුන්ගල්ල ගල්වෙහෙර කුරුඳුවත්තේ පිහිටි නිවෙසට අප යනවිටත් සොව පළකිරීමට පොලිස් නිලධාරීන් මෙන්ම දියණියක් ඉගෙන ගන්නා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයේ සිසුන් මෙන්ම ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
මගේ මහත්තයාගේ ගම ගාල්ලේ. මම අනුරාධපුරයේ. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු විසි පහක් වෙනවා. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. අපි අහුන්ගල්ලට පදිංචියට ඇවිත් වෙන්නේ අවුරුදු කිහිපයයි. ලොකු දුව උසස් පෙළ විභාගයට පෙනී ඉඳල ඉන්නේ. බාල දුව තවම පාසල් යනවා. මහත්තයා දරුවන්ටත් මටත් බොහොම ආදරයෙන් ඉන්නේ.
දිනපතා ගෙදර ඉඳලයි වැඩට යන්නේ. 15 වැනිදා සුපුරුදු ලෙස රාජකාරියට ගියා. රාත්‍රී එකොළහට විතර අහුන්ගල්ල පොලිසියෙන් ඇවිත් අපට කිව්වා මහත්තයා ඇක්සිඩන්ට් වෙලා කියලා. ඒ වෙලාවේ ඇතිවුණු දේ කියන්න නම් බැහැ. අපි යන විටත් මියගිහින් තිබුණේ. මේ වගේ විපතක් වේවි කියල නම් හීනෙන්වත් හිතුවේ නැහැ. මේ ගමේ හිටියට කිසි කෙනෙක් එක්ක කිසිම අමනාපයක් නැතැයි ඇඬූ කඳුළෙන් යුතුව ඇය කීවාය.
මෙම සිද්ධිය වෙන විට එකට රාජකාරී කළ වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් චන්දන මහතා (5644) මෙසේ කීය.
අපි දෙන්නා 15 වැනිදා සවස හයට විතර රථවාහන පරීක්ෂාවට ජංගම සේවයේ රාජකාරියේ හිටියා. සැක කටයුතු වාහන අපි පරීක්ෂා කරමින් සිටියේ. රාත්‍රී දහය හමාරට විතර අලුත්ගම
පැත්තේ සිට මතුගම දෙසට ලයිට් නිවාගෙන යතුරුපැදියක් වේගයෙන් ආවා. උපුල් සමන්ත සාජන්ට් මහත්තයා මේ බයිසිකලය නතර කරන්න අත පෑවා. ඒ සමගම බයිසිකලය මොහුව හප්පගෙන
වේගයෙන් ගියා. බයිසිකලයේ වැදුණු පාරට වීසි වෙලා ගිහින් එතැන තිබුණු කොන්ක්‍රීට් කාණුවකට වැටුණා. ඒ වෙලාවෙම අපි මොහුව දර්ගා ටවුන් එකේ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එහිදී දොස්තර මහත්වරු පරීක්ෂා කර බලා කිව්වා මියගොස් බව.
රාජකාරිය හරියටම කළ යහපත් නිලධාරියෙක්. කිසි කෙනකුට කරදරයක් නැති මොහු නැතිවීම අපිට දුකක් වගේම පාඩුවක් යැයිද කීය.
මෙම නිලධාරියාගේ භූමදාන කටයුතු අහුන්ගල්ල කොස්ගහහේන සුසාන භූමියේ දී සිදු කෙරුණි.
බළපිටිය – අනුර යසමිත්


















