BREAKING NEWS
Search

මේ මරණ සිදුවුණේ එන්නතින්ද..? තවත් එන්නත් වර්ග 9ක් භාවිතය තහනම් කරයි..

0
හැඩකාර දඟකාර යොවුන් වියේ පසු වූ තරුණියක වන සඳුමිණි දිව්‍යාංජලී තවමත් 23 හැවිරිදි වියේ පසු වූ සමනලියක්.

සිත් ඇද බැඳ ගන්නා කතා බහකට හිමිකම් කී ඇය අද නිවෙසේ සාලය මැද උඩුකුරුව නිසොල්මනේ සැතපී සිටින්නේ කිසිවෙකු සමඟ දොඩමළු වීමට අකමැත්තෙන් නම් නොවේ.

පුංචිම පුංචි ඩෙංගු මදුරුවෙකුට ඇගේ ජීවිතය උදුරාගත් නිසා බව කියන පුවත මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. ඇයගේ වියෝව ගැන කතා මැද, මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.

ප්‍රශ්නගත ඉන්දියානු සමාගමක් මගින් ආනයනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග දහයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබුණා. ආරක්ෂාව සහ අවදානම් ඇඟවීමේ උපකමිටු තීරණවලට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබුණු අඛණ්ඩ, අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා වාර්තා සහ මහනුවර ජාතික රෝහලේ උපදේශක ක්ෂුද්‍රජීව විද්‍යාඥයාගේ මූලික විමර්ශන වාර්තා ද පදනම් කරගෙන එම අධිකාරිය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරට රෝහල්වල භාවිත වෙමින් පැවති ඖෂධ වර්ග දහයක් තත්ත්වයෙන් බාලවීම හා ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමේ සැකය මත මෙසේ ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.

2024 – 2025 සමයේ මෙරටට ගෙන්වන ලද වමනය සඳහා ලබාදෙන ondesterone injection (ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත්), ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වන Cefotaxime, Co – Amoxyclave, Imipenum, Merapenum, Piparacillin, Tozabactu යන එන්නත් වර්ග උණ, වලිප්පුව හා මානසික රෝග සඳහා ලබාදෙන Haloperidol, යකඩ ඌනතාවයන්ට ලබාදෙන Iron Sucrose සහ තවත් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් වන Sulbacturn Cefoperazone Injection යන ඖෂධ මෙලෙස භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

මෙම ප්‍රශ්නගත සමාගමෙන්ම ගෙන්වන ලද ඖෂධ කාණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකක් පුරා කීප අවස්ථාවකදී ගුණාත්මකභාවය බිඳවැටීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත් බවට වාර්තා වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මෙරට ඖෂධ සැපයුම, නියාමනය සහ බිඳවැටීම පසුගිය කාලසීමාව මුළුල්ලේම නිසි පරිදි පරිපාලනය සහ කළමනාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය හා රාජ්‍ය ඖෂධ සංස්ථාව අසමත් වූ බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පාලනයකර ගත නොහැකි අන්දමින් ඖෂධ නියාමනය බිඳවැටී ඇතැයි ද එම සන්ධානය කියයි.

ප්‍රශ්නගත අදාළ ඖෂධ සමාගම මගින් මෙරටට ගෙන්වන ලද සියලුම ඖෂධ නිෂ්පාදන අත්හිටුවීමට ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

පෙරේදා (16දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ සඳහන් කළා.

‘ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත’ භාවිත කළැයි පැවසෙන මරණ දෙකක් පිළිබඳව වාර්තා වෙනවා. අයි. ඩී. එච්. රෝහලින් වාර්තා වන මෙම මරණ දෙක අවුරුදු 37ක් වයසැති හබරකඩ ප්‍රදේශයේ කාන්තාවක් සහ අවුරුදු 23 ක් වන මතුගම ප්‍රදේශයේ තරුණියක්.

මේ ඖෂධය භාවිතයෙන් පසු සංකූලතා ඇතිවූ බවට වාර්තාවීමත් සමග එය භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. මෙම ඖෂධය ලංකාවට සැපයීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් 11 ක් සිටියා.

දිවයින පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *