මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල් අතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටි දරු දෙදෙනාගෙන් ගැහැණු දරුවාගේ සිරුරත් ඊයේ (7දා), අනුරාධපුර ‘මල් අතු ඔය ලේන්’ මාර්ගයට පිවිසෙන අලුත් පාලම අසල තිබී සොයා ගත් බව අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගනු ලැබුවේ, අංක 15/11 දුම්රිය පලපාර , අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචි සිටි සිතුල්යා මීරියගල්ල දැරියගේ සිරුරය.
එම දැරියගේ එකම සොහොයුරා වන තිෂුක මීරියගල්ල නැමති 8 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර අතුරුදහන් වී දින තුනකට පසු, ඉකුත් 4 වන දින අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ සොයා ගනු ලැබීය.
දැරියගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇගේ වම් අත සහ වම් කකුල නොතිබූ අතර එය කිඹුලන් හෝ කබරයන් විසින් කාදමන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය සඳහන් කළේය.
මීට දින හතකට පෙර ඉකුත් 2දා මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක්, වයස අවුරුදු අටක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු හතර හමාරක ගැහැණු දරුවා සමග අනුරාධපුරයට පැමිණ, අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කළේය.


















