මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ අවන්හලක සිටි කිසිම අපරාධයකට සම්බන්ධ නැති 48 හැවිරිදි කාන්තාවක පෙරේදා (17දා) රාත්‍රියේ පාතාල කුලී ඝාතකයන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අම්බලංගොඩ නගර සභාව ඉදිරිපිටදී කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙසේ ඝාතනයට ලක්වූ කාන්තාව කරන්දෙණියෙ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මහදුර ඉසුරු නමැත්තාගේ නැන්දණිය බවද පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වූ 48 හැවිරිදි තිදරු මව කිසිදු අපරාධයකට සම්බන්ධයක් නැති අහිංසක කාන්තාවක බවත් ඇගේ සැමියා ද මීට ටික කලකට පෙර මියගොස් ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.
මීටියාගොඩ කරන්දෙණිය ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහදුර නලීන් නමැත්තාගේ සහ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයන් අතර පාතාල ගැටුමක් හටගෙන ඇත්තේ මීට වසරකට පමණ පෙර සිටය. මහදුර නලීන් නමැත්තා ඉකුත් මැයි මස 03 වැනිදා මීටියාගොඩ එප්පාවිල ප්‍රදේශයේ අවන්හලක මත්පැන් පානය කරමින් සිටියදී එහි කඩාවැදුණු කරන්දෙණියේ නැන්දාගේ පාතාල කුලී ඝාතකයන් ඔහු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
එම ප්‍රහාරයෙන් මහදුර නලීන් සහ තවත් වඩු කාර්මිකයකු ඝාතනයට ලක් වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
මෙම ඝාතන සිද්ධියෙන් පසු මහදුර නලීන්ගේ දරු දෙදෙනා කරන්දෙණියේ සුද්දාගෙන් පළිගැනීමට සැලසුම් කළහ. මහදුර නලීන්ගේ එක් පුත්‍රයකු විදේශ ගත වූ අතර මහදුර ඉසුරු නමැති අනෙක් පුත්‍රයා කරන්දෙණියේ සුද්දාගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන මිරන්ත වරුසවිතාන නමැත්තා මරා දැමීමට සැලසුම් කළේය.
ඩුබායි සිටින සොහොයුරාගේ ද සහාය ඇතිව කුලී ඝාතකයන් දෙදෙනකු යොදවා කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වූ මිරන්ත නමැත්තා අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරන ලදී.
එම ඝාතනය සිදු වී විනාඩි කීපයක් ගත වූ පසු මිරන්තගේ පුත්‍රයාට දුරකථනයෙන් කතා කර ඇති ඩුබායි හි සිටින නලීන්ගේ පුත්‍රයා පවසා තිබුණේ ‘අපේ තාත්තාව මරපු පළිය ගත්තා. අපි උඹලගේ තාත්තව මැරුවා යැයි කියමින්ය.
මෙම ඝාතනය සිදු වී හරියටම සති දෙකකට පසු මහදුර නලීන් නමැත්තා විසින් බාල නැඟණිය මෙසේ ඝාතනය කර තිබේ. පෙරේදා රාත්‍රි 8.00 ට පමණ මීටියාගොඩ කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හල වෙත යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු එහි මුදල් අයකැමිවරිය ලෙස කටයුතු කරමින් සිටි කාන්තාවට පිස්තෝලයකින් වෙඩි තබා පලාගොස් තිබිණි. බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියාය.
මේ වනවිට කරන්දෙණිය, මීටියාගොඩ, ඇල්පිටිය, අම්බලන්ගොඩ ප්‍රදේශවල ජනතාව දැඩි භීතියකට පත්ව සිටින්නේ මෙම පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තවත් ඝාතන වැලක් සිදුවීමට ඉඩ ඇති නිසාය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.
මේ අතර මෙම කාන්තාව ඝාතනය කිරීම සඳහා කුලී ඝාතකයන් පැමිණි යතුරුපැදිය බද්දේගම ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
හේමන්ත රන්දුණු


















