BREAKING NEWS
Search

මම ආයෙත් පූර්ණකාලීනව කොහේවත් වැඩ කරන එකක් නැහැ – චන්දන සූරියබණ්ඩාර

0

ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග එක්ව ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්ව ඇත. ඒ ගැනත්, චන්දන සූරියබණ්ඩාර මහතා මේ දිනවල දියත් කරන සමාජ කටයුතු පිළිබඳවත් ඔහු කළ සංවාදයකි මේ.

ඔබ ස්වර්ණවාහිනියත් සමග එකතු වුණු බව සමාජයේ කතාබහට ලක්වෙලා තියෙනවා. මොකක්ද කතාව?
අපි සමාජ කාර්‍යයක් කරනකොට මාධ්‍යවේදියකුට හෝ නිර්මාණකරුවකුට වැදගත් වෙන්නෙ ඒ තැන නෙවෙයි කරන්නේ මොකක්ද කියන එක.
මාධ්‍යවේදියෙක් හෝ නිර්මාණ කරුවෙක් විදිහට ඔබේ සැබෑ වටිනාකම තියෙන්නේ ඔබ වැඩ කරන ආයතනය තුළම නෙවෙයි. ඔබ නිර්මාණය කරන දේ පිටුපස ඇති අරමුණ තුළයි. මට ඉඩක් ලැබෙනවා නම් මේ රටේ දරුවන් ප්‍රමුඛ සමාජයට කිසියම් වැදගත් දෙයක් කරන්න, අනිවාර්යයෙන්ම ඒ තැන කොතැනද කියල මම බලන්නෙ නැ. එම අවස්ථාව මම භාවිත කරනවා.

ඔව්, වෘත්තීමය වශයෙන් මම සිරස මාධ්‍ය ජාලයේ අවුරුදු විසි ගණනක් වැඩ කළා. එම කාලය තුළ සිරස මාධ්‍ය ජාලය මාගේ දෙවන නිවහනක් වූ අතර, වෘත්තීය ගමනේ බොහෝ සන්ධිස්ථාන එහිදී පසු කළා. නමුත් මේ අවුරුද්දෙ ජනවාරි මාසයේදී මම විශ්‍රාම ගත්තා. මම ඉන් පස්සෙ දරුවන්ගේ අභිවෘද්ධිය සහ මානසික සුවතාවය සදහා වන “යං මෙමරි – බ්‍රේන් පවර් ඇන්ඩ් ලයිෆ් ස්කිල්ස් ” ආයතනය ආරම්භ කළේ, දරුවන්ට ඔවුන්ගේ ශක්තීන් හඳුනා ගන්න කටයුතු කිරීම මගේ විශ්‍රාම ජීවිතයේ ප්‍රමුඛ අභිමතාර්ථය කර ගනිමින්.

ඒ ගමන දරුවන්ට තමන් කවුද කියලා හඳුනා ගන්න.

තමන්ගේ හැකියාවන් තේරුම් ගන්න සහ වඩාත් ශක්තිමත්, නිදහස් මනසක් ඇති කරගන්න උදව් කිරීම මුල් කරගත් ගමනක්. එවිට සුසාර දිනාල් මහතා මට කීවා අපි මේ ටෙලිවිෂනය තුළ දරුවන් සහ පවුල වෙනුවෙන් යම් හරවත් සහ ගුණාත්මක භාවයෙන් යුතු වැඩ සටහන් කරන්න ඕනේ, විශේෂයෙන් ප්‍රයිම් ටයිම් එකේ, මොකද පවුලේ අය අතර, දරුවන් සහ දෙමාපියන් අතර සබඳතා වර්ධනය කරන්න යමක් කරන්න ඕනේ කියලා. මම හිතනවා ඒක මේ වෙලාවේ අත්‍ය වශ්‍යම දෙයක් කියලා. ඉතින් මම ඒ වැඩේට මගේ සම්පූර්ණ සහයෝගය විතරක් නෙවෙයි ශක්තියත් ස්වර්ණවාහිනිය කල්පනා කරනවා දෙනවා.

මේ රටේ දරුවෝ වෙනුවෙන් යමක් කරන්න ස්වර්ණවාහිනිය තුළ ඉඩක් තියෙනවා කියලා. ඉතින් ඒ දේ කරමු කියලා සුසාර දිනාල් මහත්මා මගෙන් ඇහුවම මම ඒකට එකඟ නොවුණොත් ඒ මම නෙවෙයි. මම ඒ වැඩේට එකතු වෙන්නෙ නැත්තෙ ඇයි කියලා අහනව නම් තමයි ප්‍රශ්න තියෙන්නෙ.

මොකද මම බලාගෙන ඉන්නෙ ඉඩක් ලැබෙන හැම මොහොතකම දරුවන් වෙනුවෙන් දෙයක් කරන්න. දරුවෝ මාත් එක්ක හරි එකතුයි. පොදු සමාජයට වඩා ඔවුන් මගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා.

ඇයි මම ස්වර්ණවාහිනිය එක්ක එකතු වුණේ කියලා අහනව නම් ඒකට මම දෙන උත්තරේ. මම දරුවෝ වෙනුවෙන් සහ ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ඕනෑම තැනක ඉන්නවා.

ඔබ ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරෙන් ඉවත්වෙලා ද නැද්ද කියලා සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙනවා. ඒ ගැන කිව්වොත්?

ජනාධිපති මාධ්‍ය උපදේශක විදියට මට තියෙන යම් යම් කාර්‍යයන් අත හරින්න වුවමනා නෑ මේ වැඩේ කරන්න. ( සිනාසෙමින්) ඒ අයින් වෙන්න හේතුවක් මට පේන්නෙ නෑ. මම තවමත් තනතුරේ වැඩ කටයුතු කරනවා.

 

මගේ වගකීම් සුපුරුදු පරිදි ඉදිරියටත් සිදු වෙනවා.

හැබැයි මේ අලුත් නිර්මාණාත්මක ව්‍යාපෘතියට එකතු වීමෙන් එයට බාධාවක් වෙන්නේ නැහැ.

ඇත්තටම එය මගේ අරමුණ තවත් ශක්තිමත් කරනවා. රජය තුළ හෝ රූපවාහිනිය තුළ වේවා.

මගේ ඉලක්කය එකයි.

වඩාත් සිතන, හිතවත්, සහ හැඟීම්බර සමාජයක් ගොඩනගන්න උදව් කිරීම.

ඔබ ස්වර්ණවාහිනියත් එක්ක එකතු වුණේ පූර්ණකාලීනවද?

නෑ. මම ආයෙත් පූර්ණකාලීනව කොහේවත් වැඩ කරන එකක් නැහැ. විශ්‍රාම ගන්නවා කියන්නේ ඒකනේ. මම දැන් විශ්‍රාමිකයෙක්. මමත්, මගේ අති දක්ෂ නිර්මාණ කණ්ඩායමත්, ස්වර්ණවාහිනියත් එක්ක අලුතෙන් නිෂ්පාදනය කරන, හුදු විනෝදය පමණක් ඉලක්ක නොකරන, පවුලේ අයට එකට එකතු වෙලා සහභාගිත්ව වැඩක් විදිහට නරඹන්න පුළුවන් වැඩ සටහනක් එළිදැක්වෙනවා. ඒ වැඩ සටහන තමයි “ජීවිතයට කෝටියක්” කියන්නේ. ලංකාවේ රූප වාහිනී ඉතිහාසයේ වැඩිම තෑගි මුදලක් දෙන, හැබැයි ඊටත් වඩා වැදගත්, දැනුම සහ එකට එකතු වීම අපේ ගෙවල් වලට ගෙන එන වැඩ සටහන.

අපිට ඕන වුණා පවුලෙ හැමෝම එකට එකතුවෙලා ප්‍රතිචාර දක්වන, එකිනෙකා සමග සබඳතා ගොඩනැගෙන විදිහේ වැඩ සටහනක් නිර්මාණය කරන්න.

මෙය හුදෙක් දැනුම මැනීමක් නොව, පවුලේ සාමාජිකයන් එකිනෙකාගේ අදහස් වලට සවන් දෙන, කණ්ඩායමක් ලෙස වැඩ කරන ආකාරය පුහුණු කරන වේදිකාවක්. එම නිසා ප්‍රශ්න විචාරාත්මක ආකෘතිය වඩාත් සුදුසු යි. ඒකට හේතුව තමයි අද සමාජයේ පවුල ඇතුළෙ 2 හරිහැටි සබඳතා නැති එක.

මවුපියෝ සහ දරුවෝ අතර තියෙන්නෙ දුරස්ථ බැඳීමක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ අලුත් වැඩසටහන හරහා දරුවන් සහ මවුපියන් අතර තියෙන සබඳතාවය අලුත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම දරුවන්ට අලුත් දැනුම ලබාදෙන අවස්ථාවක් වෙයි කියලා.

ඒ කියන්නෙ මේක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද?

ඔව්. ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් තමයි. හැබැයි හදලා තියෙන්නේ වෙනස් විදිහකට. ලෝකෙ ඕන තරම් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් තියෙනවා. හැබැයි අපි මේක ටිකක් වෙනස් විදියකට නිර්මාණය කරලා තියෙන්නෙ.

හැබැයි මෙතනදි අපි විශේෂයෙන්ම දරුවන්ගෙ ප්‍රගමනය, පවුලේ අපිට මග හැරුණු සබඳතා යළි ගොඩනංවනවා. අද අපිට පවුල ඇතුළෙ සබදතා පවත්වන්න වෙලාවක් නෑ. මවුපියෝ ඕනෑවටත් වඩා කාර්‍යබහුල වෙලා.

දරුවෝ ගැන හොයන්න වෙලාවක් නැ. අද අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ ඩිජිටල් දුරස්ථභාවයයි (Digital Distance).

දැන් දරුවෝ වෙනදට වඩා මානසික පෙළෙනවා.

ආතතියෙන් ඉතිහාසයේ අහන්න නොලැබුණු තරම් ඔවුන් විශාදයෙන් පෙළෙනවා.

ඔවුන් තනිවෙලා. ඒ දරුවෝ තමන්ගෙ ප්‍රශ්න විසඳ ගන්නෙ ළඟ ඉන්න යාළුවන්න්ගෙන්. ඒ යාළුවෝ අනිත් කෙනාට උත්තර හොයලා දෙන්නෙ තමන්ටත් කවුරු හරි හඳුන් වලා දීපු කෙනෙක් හරහා.

මෙන්න මෙතනදි තමයි හුඟක් දරුවෝ මත්ද්‍රව්‍ය වැනි දේවලට හුරු වෙන්නෙ. හැබැයි ඒ දරුවෝ කඩෙන් ගිහින් මත්ද්‍රව්‍ය ගන්නෙ නෑනේ. ඔවුන් ඒවා ලබාගන්නෙ තමන් ගෙ ළඟ ඉන්න යාළුවානේ.

ඒ යාළුවා හඳුන් වලා දෙන කෙනාගෙන්.

මවුපියන්ට තමන්ගෙ දරුවොත් එක්ක ගත කරන්න කාලයක් තියෙනව නම් මේ දේවල් මෙහෙම වෙන්නෙ නෑ.

ඒත් ඒ අයට ලොකු වැඩ තියෙනවා ස්මාර්ට් ෆෝන් එකත් එක්ක නේද? මෙතනදි දරුවෝ තනි වෙනවා. ඉතින් අපි මේ නිර්මාණය කරන්නෙ දරුවන්ටයි. මවුපියන්ටයි.

 

 

පවුලෙ ඔක්කොටමයි එකට ඉන්න පුළුවන් ඒ වෙලාව. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය තෙරපුම යොදනවා.

මේ තරගයේ ස්වභාවය ගැන යමක් කිව්වොත්?

මේකට සහභාගිවන තරගකරුවන් සමාජය ගැන යම් අවබෝධයක් තියෙන, යම් මට්ටමකට අපිට නොපෙනෙන සමාජයේ තියෙන ගැටලු ගැන සංවේදී වෙන පිරිසක්. එක පැත්තකින් මේක හරි විනෝදාත්මක වැඩක් වෙයි. අනික් පැත්තෙන් දරුවන්ට හොඳ දැනුමක් ලබාදෙයි.

ඒ සේරමත් එක්ක ලොකු සැහැල්ලුවකින් පවුලෙ හැමෝටම එකට එකතු වෙන්න අවස්ථාවක් සැලසෙයි.

ඔබ හිතන විදියට අද පවුල රූපවාහිනියෙන් ඈත් වෙලාද?

සාපේක්ෂව ඔව්.

ඉස්සර ගමක එක ගෙදරක විතරයි ටීවී එකක් තිබුණේ. ඒක බලන්න ගමේ හැමෝම ඒ ගෙදරට එකතු වෙනවා. පසු කාලීනව හැම ගෙදරටම වගේ ටීවී එකක් ආවම ඒක පවුලේ දෙයක් බවට පත් වුණා. ඒත් දැන් ටීවී එක බලන්නෙ පවුලෙ සමහර අය විතරයි.

එතනිනුත් පුරුද්දක් විදියට ටීවී එක ඉස්සරහා වාඩි වෙන කණ්ඩායමක් ඉන්නවා. අනිත් හැමෝම මකරයට වෙලා ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය භාවිතයට හුරුවෙලා. ටෙලිවිෂන් වැඩ සටහන් බලන්නෙත් ස්මාර්ට් ෆෝන් එකෙන්.

මේ නිසා ඇත්තටම දැන් අහන්න තියෙන්නෙ පවුල රූපවාහිනියෙන් ඇත් වෙලාද කියනවාට වඩා අපිට තිබුණු සාමූහික පවුලේ ක්‍රියාකාරකමක් අහිමි වෙලාද කියලයි.

හරියට එකට ඉඳගෙන කෑම කන එකෙන් අපි ඈත් වෙමින් යනවා වගේ.

රූපවාහිනියෙන් ඈත් වීම සහ සමාජ මාධ්‍ය, අන්තර්ජාලය භාවිතයට හුරුවීමෙ වරදක් නෑ. අපිට ඕන ටීවී එක කියන පෙට්ටිය පවත්වාගෙන යන්න නෙවෙයි. හැබැයි එක වෙලාවක දී පවුල එකට තියන්න පුළුවන් මෙවලම තමයි රූපවාහිනිය කියන්නෙ. අන්න එතනයි අපිට රූපවාහිනිය කියන පෙට්ටිය වැදගත් වෙන්නෙ. ඒ නිසා සමාජය එකතුවෙලා මේක රැකගන්න ඕන.

මොකද සාලයේ ටීවී එක තියෙන නිසයි පවුලේ අයට එකිනෙකා අතර සබඳතාවය පවත්වා ගන්න හොඳ අවස්ථාවක් ගොඩ නැගෙන්නෙ. මෙතනදි රූපවාහිනී මාධ්‍ය ආයතන තේරුම් ගන්න ඕන පවුල එකට ටීවී එක වටා තියාගන්න මොනවද විකාශය කරන්න ඕන දේවල් කියලා. සමාජ මාධ්‍යයේ යන්න ඕනෙ දේවල් ටෙලිවිෂන් එකේ පෙන්නලා ටෙලිවිෂන් කර්මාන්තය ආරක්ෂා කරන්න බැ. දැන් හුඟක් විට වෙන්නෙ ඒක. පවුල අමතක කරලා ඇල්ගොරිතමය (Algorithm) ගැන උනන්දු වෙනවා. ඇල්ගො චරිතමය සහ රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය අතර වෙනසක් තියනවා.

ඇල්ගොරිතමය (Algorithm) කියන්නෙ සංඛ්‍යාත්මක ගණනයක් රූපවාහිනී ප්‍රේක්ෂකයා කියන්නේ ජීවමාන මනුෂ්‍යයෙක්. ඒ දෙක අතර විශාල වෙනසක් තියනවා.

අපි ඒ වෙනස තේරුම් නොගත්තොත්, රූපවාහිනී කර්මාන්තයේ අනාගතය අඳුරු වෙයි.

ඒ නිසා අපි එකතුවෙලා ඒක වෙනස් කරන්න ඕනේ.

ගුණාත්මකත්වයෙන්, ප්‍රමිතියෙන් උසස් වැඩ සටහන් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න ඕනේ.

රූපවාහිනී වැඩසටහන්වල අන්තර්ගතය කොයිතරම් හොඳ වුණත් අද පවතින කායිබහුල ජීවන රටාවත් එක්ක ඔබ ඔය කියන සබඳතාව ගොඩනගන්න පවුලෙ හැමෝටම එකම වෙලාවකදි රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙන්න ඉඩ හදාගන්න එක අභියෝගයක් නෙවෙයිද?

ඔව්, ඒක අභියෝගයක්.

තාක්ෂණය දියුණු වෙලා කොයිතරම් පහසුකම් ලැබුණත් අපිට කාලය නෑ. අපේ වැඩ කොයිතරම් පහසු වෙලා තිබුණත් අපි තාමත් කියන්නෙ අපි කාර්‍යබහුලයි කියලා.

මිනිස්සු හැමවෙලේම කියනවා “බිසී ” කියලා.

හැබැයි සමහර වෙලාවට මට හිතෙනවා අපි කාර්යබහුල වෙලා ඉන්නේ වැදගත් දේවලටමද කියලා.

මවුපියෝ දිගු වෙලාවක් වැඩ කරනවා. දරුවෝ ඉස්කෝලේ ඉඳලා ටියුෂන් පන්ති වලට දුවනවා. හැමෝම ගෙදර එනකොට කතා කරන්නවත් වෙලාවක් නැහැ.

මවුපියෝ උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් රෑට තම තමන්ගෙ වැඩ කරන අතර ජංගම දුරකථන එක්ක ඔට්ටු වෙනවා. දරුවන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ.

දරුවෝ උදේ ඉස්කෝලෙ ගිහින් හවස උපකාරක පන්තිවලට යනවා.

එකක් ඉවර වෙන්න තව පන්තියක්. ඒ අයට මවුපියෝ එක්ක කතා කරන්න වෙලාවක් නෑ.

දරුවෝ නිහඬ වෙනවා.

ඇයි ඉතින් ගෙදර කතා කරන්න කෙනෙක් නෑනෙ. ඊට පස්සේ දරුවෙක් නිහඬ වෙද්දී හෝ මුළුගැන්වෙද්දී මවුපියන් කනස්සලු වෙන්න පටන් ගන්නවා. ” ඇයි මගේ ළමයා අපිත් එක්ක කතා කරන්නේ නැත්තේ?” කියලා.

ඇත්ත කතාව සරලයි.

ඔබ ඔබේ දරුවා සමඟ කාලය ගත නොකළොත්, ඔවුන් කතා කරන්න වෙනත් කෙනෙක් හොයා ගන්නවා. සමහර වෙලාවට, ඒ වෙනත් කෙනා’ ඔවුන්ට නිවැරදි නැති අ මාර්ගය පෙන්වන්නේ වෙන්න පුළුවන්.

ඊට පස්සෙ ඔන්න අම්ම තාත්තට ලොකු ප්‍රශ්නයක් දරුවා කතා කරන්නෙ නෑ කියලා.

දරුවා කතා කරන්නෙ නෑ. නිතර තරඟ ගන්නවා, ඉස්කෝලෙ වෙන කිසි දෙයක් ගෙදර ඇවිත් කියන්නෙ නෑ, දරුවට මානසික ලෙඩක්ද කියලා බලන්න.

වෛද්‍යවරු හොයාගෙන යනවා.

මම නම් කියන්නෙ දරුවෝ එක්ක ඉන්න විනාඩි 30 ක් හදාගන්න කියලා. එකක් ඉවර වෙන්න එකක් උපකාරක පන්තිවලට දරුවෝ යවන්න එපා.

 

ලෝකයේ පිළිගත් අධ්‍යාපන මූලධර්මවලට අනුව දරුවෝ දවසට පැය 9 ක් වත් නිදා ගන්න ඕන. එහෙම නැති වුණාම දරුවන්ගෙ පූර්ණ සෞඛ්‍ය පිරිහෙන්න පටන් ගන්නවා. අවසානෙ දරුවව අරන් වෛද්‍යවරු ළඟට දුවන්න වෙනවා.

දරුවන්ට ළමා කාලය ගත කරන්න නිදහස දෙන්න. ඒ අය එක්ක ළමා ලෝකයේ අත්දැකීම් බෙදාගන්න. අන්න එතකොට දරුවව අරගෙන වෛද්‍යවරු ළඟට දුවන්න ඕන වෙන්නෙ නෑ. දරුවා කත කරන්නෙ නෑ කිය කිය ළතවෙන්න ඕනෙ නෑ.

නිකන් කතා කරන්න.

සවන් දෙන්න. එකට වාඩි වෙන්න. ඔබේ දරුවාට දිය හැකි ලොකුම තෑග්ග මුදල් නෙවෙයි. ඒ ඔබගේ කාලය සහ අවධානයයි.

සමහර දරුවෝ හිතුවක්කාරයි, දඩබ්බරයි කියලා කියනවා. ඔබ ඒ ගැන මොනවද කියන්නෙ?

අපි ගොඩක් වෙලාවට ගෙදරදි හෝ පාසලේදි මේ දරුවා දඩබ්බරයි, එහෙමත් නැත්නම් මේ දරුවා හිතුවක්කාරයි.

අකීකරුයි වගේ දේවල් කියලා දරුවන්ව ලේබල් කරනවා. අපි හරිම පහසුවෙන් දරුවන්ට නම් තියනවා, ”හිතුවක්කාරයා” “දඩබ්බරයා,” “මෝඩයා” වගේ අශිෂ්ට නම් කියනවා.

හැබැයි ඔබ දරුවකුට මේ වගේ ලේබලයක් දුන් මොහොතේම, ඔබ ඔවුන් වටේට කූඩුවක් හදනවා.

ඒ ගොල්ලෝ විශ්වාස කරන්න පටන් ගන්නවා තමන් ඒ විදිහේ අය කියලා, ඊට පස්සේ ඒ විදිහටම හැසිරෙන්න ගන්නවා. ඔබ දිගින් දිගටම දරුවාගේ වැරදි විතරක් පෙන්වා දුන්නොත්, ඔබ කරන්නේ ඒ වැරදි ශක්තිමත් කිරීමයි. නමුත් ඔබ ඔවුන්ගේ හොඳ දේ, ඔවුන්ගේ දක්ෂතා, පොඩි කුතුහලය, සාර්ථකත්වයන් දකින්න තෝරා ගත්තොත්, ඔබ ඔවුන්ගේ යහපත්කම ශක්තිමත් කරනවා. හැම දරුවෙක්ම වෙනස්.

හැමෝටම තමන්ගේම රිද්මයක්, ශක්තීන් සහ දුර්වලතා තියෙනවා.

මවුපියන් විදිහට ඔබේ වැඩේ දරුවා ” හදන එක ” නෙවෙයි. ඔවුන්ව ” තේරුම් ගන්න ” එකයි. උපදෙස් දීමෙන් විතරක් චරිතයක් හැදෙන්නේ නැහැ. ආදරය තුළින් එය සිදුවෙනවා.

දරුවන්ට අවශ්‍ය මග පෙන්වීම් විතරක් නෙවෙයි, ඔවුන්ට ආදරය දැනෙන්නට ඕන. තමන්ගේ මවුපියෝ ඇත්තටම තමන්ව දකිනවා සහ තේරුම් ගන්නවා කියලා ඔවුන්ට දැනෙන්න ඕන. ඔවුන්ට එහෙම දැනෙන කොට.

ඔවුන් බියෙන් තොරව, ආදරයෙන් ස්වාභාවිකවම හොඳ මිනිසුන් බවට පත් වෙනවා. මේ ලෝකෙ ඉන්න කිසිම දරුවෙක් මට නම් වැරදි දරුවෙක් නෙවෙයි. මොකද ඒ අය වැඩිහිටියන්ගේ ප්‍රකාශනයක්.

අවසාන වශයෙන්, අද දරුවන්ට වැඩියෙන්ම අවශ්‍ය දේ මොකක්ද?

ලෝකය වෙනදාට වඩා ඉක්මනින් වෙනස් වෙනවා. තාක්ෂණය, තොරතුරු, තරගකාරිත්වය, සෑම දෙයක්ම වේගයෙන් දුවනවා. හැබැයි මිනිස් හදවත වෙනස් වෙලා නැහැ. දරුවන්ට තවමත් අප සැමට අවශ්‍ය දේම අවශ්‍යයි; අවබෝධය, යහපත් සබඳතා, නිදහස, සහ ආදරය.

දැනුම විතරක් මදි.

හැඟීම් නැති දැනුම හිස්. අපි දරුවන්ට උදව් කළ යුත්තේ බුද්ධිමත් මනසක් හදා ගන්න විතරක් නෙවෙයි. ආදරණීය සහ සහකම්පනයෙන් යුතු හදවතක් හදා ගන්නටයි. මොකද දරුවෙක් කියන්නේ හදලා ඉවර කරන්න තියෙන ව්‍යාපෘතියක් නෙවෙයි – විවෘත වෙන්න බලාගෙන ඉන්න ජීවිතයක්. ඔවුන්ට ආදරය, නිදහස සහ අගය කිරීම දැනුණු මොහොතේම ඔවුන්ගේ ලෝකය දීප්තිමත් වෙන්න පටන් ගන්නවා.

| සඳුනි තිලකරත්න (මොනරා පුවත්පත)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *