කුඩා කළ සිට කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දනුක සාපෙළ විභාගය උසස් ලෙස සමත්ව උසස් පෙළට තෝරාගෙන ඇත්තේ ගණිත අංශයයි. ගණිතය මෙන්ම භෞතික විද්‍යා විෂයට ද එක ලෙස දක්ෂතා දැක්වූ ඔහු උසස් පෙළ විභාගය ද විශිෂ්ට ලෙස සමත්ව සබරගමු විශ්වවිද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූයේ ප්‍රේමලාල් දිසානායක හා සමන්තා කරුණාරත්න මව්පියන්ගේ ජීවිතවලට බලාපොරොත්තු ගොන්නක් එකතු කරමින් වුවත් අද ඒ සියල්ල බිඳී ගොස් අවසන්. බොහෝ මිතුරු පිරිසක් ඇසුරු කළ දනුක ඔවුන් සමඟ නිතරම ගීත ගයමින් විනෝදයෙන් කෙළිදෙලෙන් ගත කළ තරුණයෙකු වන අතර නිවෙස අවට කවුරුත් ඔහුට ආදරය කළේ ඔහුගේ පැවැති අහිංසක ගතිගුණ හේතුවෙන්.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අත්පොත් තබා සතියක් වැනි කාලයක් වුවද ඔහුට බොහෝ මිතුරු පිරිසක් එකතු වී සිටියේ මිතුරන් අතර ඔහු ජනප්‍රිය චරිතයක් වී තිබුණා.
විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සතියක පමණ කාලයක සිට නතර වී සිටි දනුක පසුගිය 31දා රාත්‍රියේ නිවෙසට පැමිණියේ නිවාඩු දින දෙක මවුපියන් සමඟ ගතකර නැවත විශ්වවිද්‍යාලයට යෑමේ බලාපොරොත්තුවෙන් වුවත් ඊට ඉඩ නොතබාම මරුවා රැගෙන ගියේ සියල්ලම කණපිට හරවමින්. මීට මාසයකට ප්‍රථම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කර ගත් තරීෂා, දනුකගේ එකම සහෝදරිය වන අතර ඔහුගේ මව හා පියාද රැකියාව කරන්නේ එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේයි.
වාවාගත නොහැකි ශෝකයෙන් තරීෂා මෙලෙස පැවසුවේ මෙවැනි කතාවක්.
මට හිටියේ මල්ලි විතරක් වගේම මල්ලිට හිටියෙත් මං විතරයි. ඒ හින්දා මාත් එක්ක හරිම යාළුයි. ඕනෑ දෙයක් මාත් එක්ක කියනවා. ඒ වගේම තමයි අම්ම තාත්තටත් හරිම ආදරෙයි. හොරබොරු කරන්නේ නෑ. මල්ලි ඉගෙනීමට වගේම ඩ්‍රාමාවලට, පිහිනීමේ ක්‍රීඩාවලට දක්ෂයි. ගිටාර් ගහන්නත් එයා හරි කැමතියි. එයා ඉන්න කොට නිතරම ගේ පිරිලා. යාළුවොත් එක්ක සින්දු කිය කිය නිතරම විනෝද වෙනවා. කැම්පස් පටන් ගන්න ගොඩක් කල් ගිය හින්දා ට්‍රිප් ගිහින් යාළුවෝ ගොඩක් අඳුනගෙන තිබුණා. එයාගේ යාළුවො ගොඩක් හොඳ අය. මල්ලි හොස්ටල් එකේ ඉඳලා සිකුරාද රෑ තමයි ගෙදර ආවේ. පොඩි හෙම්බිරිස්සා ගතියක් තිබුණා. දේශගුණය වෙනස් වුණු හින්දා වෙන්න ඇති කියා හිතලා පහුවදා බේත් අරන් ඒකට අඩුවෙලා තිබුණා. 2දා යාළුවකුගේ උපන්දිනයක් තිබුණා. චිත්‍රපටයකුත් බලලා ඒ පාටියටත් යනවා කියා අම්මට කියලා තමයි ගිහින් තිබුණේ. අම්මට දෙතුන් පාරක් එයා කෝල් කරලා තිබුණා. හවස 6.30ට විතර කතා කරනවිට කටහඬ අමුතු වෙලා තිබුණා. සෙම්ගෙඩි හැදිල කියලා කිව්වලු. ඊට පැය භාගෙකට විතර පස්සේ තමයි යාළුවා කතා කරලා අම්මට කියලා තියෙන්නේ දනුකට අමාරුයි ඉක්මනට ඉස්පිරිතාලෙට එන්න කියලා. මල්ලි නැතිව දැන් ඉතින් මුළු ගෙදරම පාළුයි.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන දනුකගේ හොඳම මිතුරකුගේ ගෝනපල ප්‍රදේශයේ නිවෙසට ඔහු යන්නේ උපන් දින සාදයට සහභාගි වීමටය. නිවෙස් දෙකටම යන එන මේ දරුවන් ගැන වැඩිහිටියන්ද හොඳින් දැන හඳුනාගෙන සිටියේ කාලයක සිටය. දනුකගේ ඉල්ලීම පරිදි මිතුරා ඉඟුරු දෙහි ඇඹුල් සුදුලූනු ගුලියක් අඹරා දීමට කටයුතු කර තිබුණේ සෙම් අමාරුවට අත් බෙහෙතක් නිසාද. ඉන් පසුව සෙම පිට වුණත් දනුකට කතා කර ගැනීම තරමක් අපහසු තත්ත්වයට පත්වී තිබිණ. මිතුරා ඔහුගේ මවත් පියත් සමඟ ඡායාරූපයක් ගැනීමට ගිය අතර නිවෙසේ සිටි කිහිප දෙනෙක් ඔහු වෙත පැමිණ පැවසුවේ දනුකට අමාරු බවයි. ඔවුන් ඉක්මනින් ඔහු හොරණ පෞද්ගලික වෛද්‍ය ආයතනයට රැගෙන ගිය අතර එහිදී පවසා ඇත්තේ රෝහලට රැගෙන යන ලෙසය. රෝහලට රැගෙන යාමට මිතුරාගේ මෝටර් රථයට නංවා ගන්නා විට දනුක විසින් මිතුරාට පවසා ඇත්තේ හුස්ම ගැනීමට අමාරු බවයි. ඒ ඔහුගේ අවසන් වදන් වන බව කිසිවෙකුත් දැන සිටියේ නැත.
මේ තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ විසින් කළ අතර හොරණ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.
කෙසේ වුවත් වැල්මිල්ල හන්දිය, කිඳෙල්පිටිය, මහවත්ත ප්‍රදේශයම කඳුළින් නහවා අවසන් බුහුමන් දැක්වීමට පැමිණි ජනගගකට සමු දී දනුක ගංගාසර මිහිදන් වූයේ හෙට සමාජයට වටිනා දරුවෙකු අහිමි කරමින් වීම කනගාටුවට කරුණක්.

දිනමිණ පුවත්පත ඇසුරෙන්.




















