මේ හදවත් සංවේදී කළ ඒ අබිරහස් මරණය ගැන ඇසෙන තවත් එක් කතාවක්.
කවුරුත් එම නිවෙසට ගොඩ වූයේ අවසන් වරට හෝ ප්‍රදීප්ගේ මුහුණ දැක ගැනීමට වුවද යළි කිසි දිනක කිසිවෙකුටත් එයට ඉඩක් නොතබාම මරුවා ඔහු රැගෙන ගොස් ඇත්තේ වෙනදා සිනහවෙන් පිරුණු මුහුණ දෙස බැලිය නොහැකි තත්ත්වයට විරූපී බවට පත් කරමින්.
අඟුරුවාතොට, උඩුවර, මුවපට්ටිය ප්‍රදේශයම කම්පාවට පත් කරමින් 32 හැවිරිදි එක්දරු පියකු වන එච්. ප්‍රදීප් හර්ෂණ ඔහුගේ උපන්දිනය යෙදී තිබූ ඉකුත් 06 වැනිදා අවසන් ගමන් ගොස් තිබුණේ විශාල අබිරහසක් ඉතිරි කරමින්.
ඒ මුවපට්ටිය, වතුගොඩ වෙල්යායේ ඔහු මියගොස් සිටියදී සොයා ගැනීමෙන් පසුවයි. නිව්චැටල්වත්තේ මුරකරුවකු විසින් මේ බව දැක අඟුරුවාතොට පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබිණා.
වෘත්තියෙන් පෙදරේරුවෙකූ ලෙස කටයුතු කළ ඔහු අනුරාධපුර වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සචින් (23) හා දොඹගොඩ සීලරතන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සඳරුවන් (16 ) යන සහෝදරයින් දෙදෙනාගේ ලොකු අයියා ලෙස පවුලේ බර කරට ගෙන කටයුතු කර තිබුණා.
ප්‍රදීප්, උග්ගල්බඩ මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වාත් කළුතර උතුර පිරිවෙනකින් උසස් පෙළ දක්වාත් අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කර තිබුණත් වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවී රැකියාවක් සොයා ගැනීමට කටයුතු කර තිබිණා. ඒ, ඔහුගේ පිියාගේ හදීසි අභාවයෙන් පසුවයි.
ඒ අනුව, මීට වසර 16 කට පෙර පියාගේ මරණයත් සමඟ මව විදේශගත වී ඇති අතර ප්‍රදීප් හැදි වැඩි ඇත්තේ මවගේ මව එනම් මිත්තණිය සමඟයි.
නිසි කළ වයස පැමිණි කළ ඉෂාණි (29) ගේ අත ගත් ප්‍රදීප් පයාගල හා වාද්දුව ප්‍රදේශවල පදිංචිව සිට ඇති අතර ඔවුන්ගේ කැදැල්ලට පුතකුගේ කිරි සිනා එකතු වූයේ ජීවිතය තවත් ආලෝකවත් කරවමින්.
එහෙත් මේ අතර කාලයේ ඉෂානි ද ප්‍රදීප්ගේ මව මෙන්ම විදේශගත වූයේ ඔවුන්ගේ ආර්ථික අපහසුතාවලින් මිදීම සඳහායි.
මේ වන විට 07 හැවිරිදි වියේ පසුවෙන දරුවා වාද්දුව ප්‍රදේශයේ ඥාති නිවෙසක නතර කර ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළ ප්‍රදීප් මිත්තණිය සමඟ මුවපට්ටිය ප්‍රදේශයේ නිවෙසේ ජීවත් වූයේ ඔහුගේ මිත්තණියගේ සැප දුක සොයා බලමින්.
ප්‍රදීප්ගේ වියෝව දැනගත් ඔහුගේ මවත් ඔහුගේ බිරියත් මෙරටට පැමිණ තිබුණා.
තම පුතුගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ මව සුරංගි මෙසේ පැවසුවා.
“මම හිටියෙ ක්වේට්වල. පහුගිය 4 වෙනිද හවස තමයි පුතා අන්තිමට මට කතා කළේ. එදා එයා ගෙදරමයි හිටියේ. මේ ගෙදර පිටිපස්සෙ බිත්තියක් කපරාරු කරන්න තිබුණා. ඒක කර කර තමයි හිටියේ. විනාඩි දහයකට වඩා මා එක්ක කතා කළේ නැහැ. ඊට පස්සේ පුතාගෙන් කෝල් එකක් තිබුණෙ නෑ. 6 වෙනිදා එයාගේ උපන් දිනේ දවසේ තමයි දැනගත්තේ එයාට කරදරයක් වෙලා කියලා. 7 පාන්දර තමයි මම රට ඉඳල ගෙදර ආවේ. පුතාගෙ නෝනා ඉෂානිත් රට ඉඳලා ආවේ අද උදේ තමයි. පුතාට වෙච්ච දේ මට නම් හිතාගන්න බෑ. අපිට මේ මරණය ගැන තියෙන්නේ ලොකු සැකයක්.”
ප්‍රදීප්ගේ ඥාති බාප්පා කෙනකු වන පී. එස්. ආර්. කුමාර මෙසේ පැවසුවා.
“මම ඉන්නේ කළුතර කටුකුරුන්දෙ. ප්‍රදීප් පුතාගේ අම්මගේ නංගි තමයි මම විවාහ කරගෙන ඉන්නේ. අපි එයාට පොඩි කාලේ ඉඳලම කතා කරන්නේ බබා කියලා. පුතාගේ අම්මයි නෝනයි දෙන්නම රට ඉන්න හින්දා පුතා හැදුණේ වැඩුණේ ආච්චි අම්ම ළඟ. ආච්චි අම්මගේ මහ ගෙදර තියෙන්නේ උග්ගල්බඩ. දැනට මාස තුනකට විතර කලින් තමයි එයාල මේ මුවපට්ටිය ගෙදරට ඇවිත් තියෙන්නේ. පුතා කරන්නේ මේසන් වැඩ හින්දා කොහේ හරි වැඩක් ලැබුණාම එයා යනවා.
ගෙදරත් කවුරුත් නැති නිසා සමහර වෙලාවට දවස් දෙක තුන යාළුවන්ගේ ගෙවල්වලත් ඉන්නවා. එයා යාළුවො එක්ක සුහදව ඉඳලා තියෙනවා. පෝයට ආච්චි අම්මා සිල් ගන්නවා. ඒ උග්ගල්බඩ පන්සලේ. කඨිනෙත් ඒ පන්සලේ 04 වෙනිදා තිබිලා. ඒ හින්දා ආච්චි අම්මයි ප්‍රදීප් පුතයි දෙන්නම ගිහින් තියෙනවා කඨිනෙට උග්ගල්බඩ. කොහොම හරි සිල් ගන්නෙ නැතුව පහුවදා 2.00ට විතර ආච්චි අම්මා ගෙදර ඇවිල්ලා තියෙනවා. ඒත් ප්‍රදීප් පුතා ඇවිල්ල නැහැ. එයාල හිතල තියෙන්නෙ යාළුවෙකුගෙ ගෙදර ඉන්නවා ඇති කියලා.
පුතාගේ උපන් දිනේට තෑගි බෝග අරගෙන 06 වෙනිදා අපි ආවා කළුතර ඉඳලා මෙහාට. ඒ උනාට පුතා ගෙදර හිටියේ නෑ. අපි ආපහු කළුතර ගියා විතරයි. 1.45 ට විතර කෝල් එක ආවා පුතාව මරලා දාලා කියලා. ඒත් අපි ඒක විශ්වාස කළේම නෑ. අපි හිතුවේ එයාගේ උපන්දිනේ හින්දා අපිව සර්ප්‍රයිස් කරන්න විහිළු කරනවා කියලයි. අපි එහෙමම ආපිට මෙහාට ආවා. එතකොටයි ඇත්ත බව දැන ගත්තේ.
පුතා වැටිලා හිටියේ මෙහෙ ඉඳලා කිලෝමීටරයකටත් වැඩිය හුඟක් දුරකයි. එතනට යන්න පොඩ්ඩක්වත් ලේසි නැහැ. කඳු දෙකක් මැද්දේ යන්න බැරි තරම් දුෂ්කර තැනකයි. රබර්වතු දෙකක් මැද තිබුණ වෙල්යායක තමයි පුතාගෙ මිනිය තිබුණෙ. මිනිහෙකුට යන්න පුළුවන් තැනක් නෙමෙයි එතන. අපි හිතුවෙම ගහලා මරලා දාලා තමයි කියලයි. එයාගෙ ඇගේ තුවාල තිබුණා. ඒත් වෛද්‍යවරු කියන්නේ පුතාට කරන්ට් එක වැදිලා කියලයි. ඒ උනාට එතන කරන්ට් වයර් මොකුත් තිබුණේ නෑ. පුතාගේ මූණෙයි පිටෙයි තුවාල තිබුණා. මේ සිද්ධිය ගැන අපිට කිසි දෙයක් හිතාගන්න අමාරුයි.”
ඇතැම් විට කිසිවෙකු විසින් සතුන්ට අටවන ලද විදුලි රැහැනක ඔහු පැටලෙන්නට ඇතැයි ගම්මු පවසනවා. එසේ නැත්නම් වෙනත් ස්ථානයක සිදුවූ අනතුරකින් පසු ඔහුව මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයිද ගම්වාසීන් කියන තවත් කතාවක්.
කෙසේ වෙතත් සිදුවී ඇත්තේ කුමක්දැයි දන්නේ ඔහුම පමණි. ඒත් දැන් ඒ පිළිබඳව විමසීමට ඔහු නොමැත. ඒ නිසා මෙම අභිරහස් මරණයේ විමර්ශන කටයුතු බාර වී ඇත්තේ අඟුරුවාතොට පොලිස් ස්ථානය වෙතයි.
නිවැසියන් ඇඩූ කඳුලින් දෑස් දල්වා බලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම අභිරහස් මරණයේ සුල මුල හෙළි කර දෙන තුරුයි.




















