BREAKING NEWS
Search

අම්මා මම යනවා කියලා මට වැඳලා ගිය කොල්ලා ආය ආවේ නෑනේ ගෙදර – තලාවේ අනතුරෙන් මිය ගිය සිසුවා ගැන ඇසෙන සංවේදී කතාව

1724

අනුරාධපුර තලාවේ සිට 411 ගම්මානය දක්වා ගමන්ගත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුවාගේ දේහය නිවසට රැගෙන එන තුරු ඥාතීන් ඉතා සංවේදීව මඟ බලා සිටී.

අනතුරින් 52 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

ඊයේ (10) මධ්‍යහ්න 12.00ට පමණ ජයගඟ හන්දිය ප්‍රදේශයේදී බස් රථය අනතුරට මුහුණ දී තිබුණි.

උදෑසන 11.30ට පමණ තලාව බස් නැවතුම්පොළෙන් ධාවනය ඇරඹි බස්රථය ජයගඟ හරහා අන්දරවැව දක්වා දිවෙන මාර්ගයේ ධාවනය කරමින් තිබී ඇති අතර එය ඉතා පටු මාර්ගයකි.

එහි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියකට ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 08ක පමණ පල්ලමකට පෙරළී තිබේ.

අනතුර සැලවූ විගස එහි පැමිණි ප්‍රදේශවාසීන් පිරිස මුදාගැනීමට යුහුසුළුව ක්‍රියා කළේය.

මේ බිහිසුණු අනතුරින් තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු දිල්ෂාන් නැමැති තලාව ජාතික පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණි.

පසිඳුගේ මව හැඬූ කඳුළින් “ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ…වෙනදා උදේම නැඟිටින කොල්ලා අද තාම ආවේ නෑ කුස්සියට. අම්මා මම යනවා කියලා මට වැඳලා ගිය කොල්ලා ආය ආවේ නෑනේ ගෙදර…” යැයි පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන දරුවන් පිරිසක් සහ තලාව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වූ පාසල් සිසුන් පිරිසක් ද එම බස් රථයේ සිට ඇතැයි වාර්තා වුණි.

අනතුරින් තුවාල ලැබූ පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ තලාව ප්‍රාදේශීය රෝහලට කෙරුණි.

අනතුරින් පසු ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රියදුරු තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය පිළිබඳ තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *