BREAKING NEWS
Search

අප සැමට තාත්තාව දැනෙන්නේ එකම අයුරිනි – හිටපු ජනාධිපති මහින්දගෙන් සංවේදී සටහනක්

229

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පියා ගැන සංවේදී සටහනක් තබා තිබෙනවා. ඒ තම පියා වන ඩී. ඒ. රාජපක්ෂයන්ගේ ගුණසමරුව සම්බන්ධයෙන්.

ඒ අනුව තම මුහුණු පොතේ තම පෞද්ගලික ජීවිතයේ මෙන්ම දේශපාලන ගමන්මගේ ද ආදර්ශමත් ප්‍රතාපවත් මහා පෞරුෂය අන් කිසිවකු නොව සිය පියා බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.
ඉතා සංවේදී සටහනක් වන එය මේ වන විටත් බොහෝ පිරිසකගේ අවධානය ද දිනා ගෙන අවසන්. එම සටහන පහතින්,
“තාත්තා” යනු අප සැමට හයියක් මෙන්ම සෙවනකි. එය කිසිදා වෙනස් නොවන සත්‍යයකි. ඔබට මට කියා එහි වෙනසක් නැත. ජනාධිපති පුතකුට වුවත් එය එසේමය. අප සැමට තාත්තාව දැනෙන්නේ එකම අයුරිනි. මගේ පියා මිනිස්සුන්ට ආදරය කළ සරල ගැමියෙකි. ඔහු මේ මහපොළවට ආදරය කළ ගොවියෙකි. ගොවිබිම් පාරම්පරික උරුමකරුවන් වෙත ලබා දීමට කටයුතු කළ සටන්කරුවෙකි. ඔහු අසීමිතව තම ජනතාවට සහ මාතෘ භූමියට ආදරය කළ පුරවැසියෙකි. මාගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම දේශපාලන ගමන්මගේ ආදර්ශමත් ප්‍රතාපවත් මහා පෞරුෂය අන් කිසිවකු නොව මගේ පියා වන ඩී.ඒ රාජපක්ෂයන් ය. මාගේ පියාණන් වන දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 58 වෙනි ගුණ සමරුවට සමඟාමීව තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අභියස දී උපහාර පිදීමේ වැඩසටහනක් ඊයේ (06) දින පෙරවරුවේ මහ සංඝරත්නයේ මෙන්ම අන්‍යාගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් අප පවුලේ සාමාජිකයන්ගේ, දේශපාලන හිතවතුන්ගේ සහ ආදරණීය ජනතාවගේ සහභාගීත්වයෙන් පැවත්වූහ. රුහුණේ සිංහල ගොවි ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් ඇරඹි ඩී.ඒ. රාජපක්ෂ දේශපාලන ගමන් මඟ දකුණේ පමණක් නොව රට පුරාම විහිදී පැතිරි ජනහිතකාමී ගමන් මගකි.

දකුණු ගිරුවාපත්තුවේ හම්බන්තොට ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් තමාගේ හඬ අවදි කළ මගේ පියා තම ප්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනික අයිතීන් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන ලද අතර 1943 වසරේ දී ආරම්භ කළ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයත්, දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයත් එතුමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයන්ය. සඟ,වෙද,ගුරු, ගොවි හා කම්කරු පංච මහා බලවේග ඒකරාශි කර ග්‍රාමීය මෙන් ම මධ්‍යම පාන්තික ජනතාව නගා සිටුවීමේ ඓතිහාසික පෙරළියේ ඉදිරි පෙළ සටන් නියමුවන් අතර මගේ පියා ද සිටි බව අභිමානයෙන් පවසමි. නියෝජ්‍ය කථානායකවරයෙක් වශයෙන් ද කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් ද විශේෂයෙන්ම දේශීයත්වයට අපමණව ආදරය කළ සමාජ සේවකයෙක් වශයෙන් ද එතුමන් සිදු කළ සේවය අතිවිශාලය. එවන් පියෙකුගේ පුතෙක් වීම මහින්ද රාජපක්ෂට සැමදා ආඩම්බරයක් බව ගෞරවයෙන් ප්‍රකාශ කරමි.”

 
 
 
 
 
 

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *