සහෝදරයා බේරාගන්න පොලිසියේ යකා නැටූ මාලිමා මන්ත්‍රී

385

විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගැනීමට උත්සාහ ගත් බව කියන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසනවා.

මෙම සැකකාර මන්ත්‍රීවරයා සිය සහෝදරයා සහ තවත් අයකු නිත්‍යානුකූල අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා උත්සාහ කරමින් පොලිසිය තුළ කලහාකාරී ලෙස හැසිරී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජතික ජනබලවේග මන්ත්‍රී යටියල්පතාන දකුණ, හිඟුරක්ගොඩ පදිංචි කේ. ඩබ්.එස්. එස්. උදයකුමාර (44) නමැත්තායි.

මෙම සැකකරුගේ සහෝදරයා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

විදුලි බිල් නොගෙවීම මත මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණා.

පසුව එම සැකකරු පොලිස් සිර මැඳිරියේ රඳවා සිටියදී ඔහුග් සුවදුක් බැලීමට පැමිණි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිසියේ උපසේවයේ සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් ක‍ොස්තාපල්වරයකු සමඟ කළහාකාරී ලෙස හැසිරී නිලධාරින්ට බැන තර්ජනය කර ඇතැයි පොලිසිය පවසනවා.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ ‍පොලිසිය සඳහන් කරනවා.

සිය ‍සහෝදරයා බැලීමට පොලිසියට ගිය සැකකාර මන්ත්‍රීවරයා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීයකුගේ ජංගම දුරකතනය ද උදුරාගෙන ඇති බව ද වාර්තා වෙනවා.

ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා නිත්‍යානුකූල අත්අංගුවේ සිටින සැකකරුවකු මුදවා ගැනීම සඳහා උත්සාහ කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු මද්‍යසාර භාවිත කර ඇති බවට වාර්තාව ලැබුණු බව පොලිසිය පවසනවා.

සැකකරු හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *