BREAKING NEWS
Search

විශ්වවිද්‍යාල සිසුවා මිය ගියේ නවක වදය නිසාද ?වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

0

වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේවෙතත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවය.

මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවාය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය අද දෙරණට සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බවය.

අද දෙරණ කළ විමසීමකදී මියගිය සිසුවාගේ සහෝදරිය සඳහන් කළේ ඉකුත් 31 වැනිදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සාදයකදී සිය සහෝදරයාට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවය.

සිය සොහොයුරාට වෙනත් කිසිඳු රෝග තත්ත්වයක් නොතිබූ බවත් විශ්වවිද්‍යාලයේ නවකවධය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම ඔහු පවුලේ අය සමඟ තොරතුරු පැවසූ බවත් ඇය සඳහන් කළාය.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට වව්නියාව මූලික රෝහල සම්බන්ධ කරගත්ත ද එහි වෛද්‍යවරියක් සඳහන් කළේ මාධ්‍යට තොරතුරු ලබාදීමට නොහැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *