සාමාන්‍යයෙන් කෙල්ලන්ව තමයි කොල්ලන්ට පරිස්සං කරන්න වෙන්නේ අනිත් කොල්ලන්ගෙන්. හා නැද්ද? හැබැයි ඉතින් කෙල්ලන්ටත් සිද්ධ වෙනවා සමහර වෙලාවට තමන්ගේ කොල්ලව අනික් කෙල්ලන්ගෙන් පරිස්සම් කරන්න. ඒ කියන්නේ අපි කියමු සෑහෙන්න පෙනුම තියෙන කෙනෙක් කියලා, එහෙම නැතිනම් සෑහෙන්න ජනප්‍රිය කෙනෙක් කියලා, එහෙමත් නැතිනම් අතිදක්ෂ මීටරයක් කියලා. ආන්න ඒ වගේ මනුස්සයන්ට ලෝකේ තියෙන ඉල්ලුම වැඩියිනේ. ඒකට ඉතින් කරන්න දේකුත් නෑ. හැබැයි එහෙමයි කියලා “ඕන කෙනෙක්ට ඇවිත් මගේ මිනිහා එක්ක යාලුවෙන්න” කියලා ඇස් කන් පියාගෙන ඉන්නත් බෑනේ. නැද්ද? ආන්න ඒ නිසා ඒකට මොනවහරි කරන්න වෙනවා. එහෙම නෙවෙයිද?
ඇත්තටම අපි මේ කිව්වේ ලෝකේ සාමාන්‍යයෙන් වෙන විදිය. ඒ කියන්නේ අපි උඩ කියපු විදියේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ගේ බොහෝ විට ඔලුව වැඩ කරන විදිය. හැබැයි ඒක හරිද? ඒකට වෙනත් විසඳුම් නැද්ද? ඕක ඕනෑවට වඩා හිතීමක් නෙවෙයිද? ආන්න ඒවා ගැන තමයි මේ කතා කරන්න යන්නේ.
සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ල ඉන්නකොට වටෙන් පිටෙන් තව තව එව්වා කරන්න හදන. එහෙම කොල්ලෙක් සමහර වෙලාවට තමන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා කියන්නෙත් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. ආන්න එහෙම වෙලාවට ඉතින් ඒ කෙල්ල මගේ කොල්ලා දිහා බලනවා කියලා දුක්වෙලා හරියන්නෙ නෑ. එතනදී කරන්න ඕන කොල්ලව හදාගන්න එක හරි එයාට ඕන දෙයක් කරගන්න කියලා වෙන අතක් බලාගන්න එක හරි තමයි. ආන්න ඒ ටික එක මේ ආටිකල් එකට ඇතුළත් වෙන්නෙ නෑ.
1. අපි දෙන්නගේ සම්බන්ධේ ඇත්තටම තියෙන්නේ කොතනද?

මේක තමයි මූලිකම දේ. තමන්ගේ සහ එයාගේ සම්බන්ධතාවය තියෙන්නේ කොතනද, ඒ ගැන දෙන්න්ම අවබෝධයෙන්ද ඉන්නේ කියන එක පැහැදිලි කරගන්න ඕන. උදාහරණයක් ගමු. දැන් කොල්ලා සහ තමන් අතර තියෙන්නේ ඩිස්ට ඩිඩින් සම්බන්ධයක් විතරක් නම්, තමන් අනවශ්‍ය විදියට කොල්ලට අයිතිවාසිකම් කියන්න ගිහින් හරියන්නෙ නෑ. ඒ වගේම තමයි, මෙතනදී තමන්ට කොල්ලා කියන දේ සහ ඇත්තටම සිද්ධ වෙන දේ අතර වෙනසත් තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට, කොල්ලා කියනවා මට ඕන ඔයා විතරයි කියලා. හැබැයි කොල්ලා කෙල්ලව කිසිම කෙනෙකුට අඳුන්වලා දෙන්න උත්සාහ නොකර, සම්බන්ධතාවය රහසක් විදියට තියාගෙන ඉන්නවා. කිසිම පිළිගත හැකි හේතුවක් නැතුව මේක දිගින් දිගටම වෙනවා නම් ප්‍රශ්නයක්. අන්න එතකොට තමන්ට තීරණයක් ගන්න වෙනවා, තමන් මේ සම්බන්ධය ඇතුළේ දිගටම ඉන්නවද නැතිද කියලා.
එහෙම කරන්න බෑ, අනේ මම එයාට හරීම ආදරෙයි කියලා හිතනවා නම්, 2 වෙනි කරුණ කියවලා බලන්න පුළුවන්
2. තමන් ඇත්තටම තමන් ගැන ආරක්ෂිතද?

ඔව්, තමන්ට තමන් ගැන හොඳ ආරක්ෂිත හැඟීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ, තමන් මනුස්සයෙක් විදියට කොයි වගේද, තමන්ට පුළුවන් දේවල් මොනවද, බැරි දේවල් මොනවද, තමන් සුවිශේෂී වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ හැඟීමක් තියෙන්න ඕන. ආන්න එතකොට එනවා හොඳ ආත්ම විශ්වාසයක්. ආන්න ඒ ආත්ම විශ්වාසය එක්ක එනවා තමන් ගැන හොඳ සුරක්ෂිත හැඟීමක්. අන්න එතකොට, තමන්ගේ කොල්ලව කවුරුහරි ඇවිත් තමන්ගෙන් උදුරගනීවි කියලා බය හිතෙන්නෙ නෑ. ඒ වගේම තමන්ට කොල්ලා ඇත්තටම තමන්ට ආදරේ නම්, තමන්ව දාලා යන්නෙ නෑ කියන ෂුවර් එකත් හිතට එනවා එතකොට.
3.එයාගේ තත්ත්වේ තේරුම් ගන්න ඕන

මේක වැදගත්. අපි කියමු මනුස්සයාට කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ එයා ජනප්‍රිය නිසා කියලා. උදාහරණයක් විදියට අපි කියමු එයා නළුවෙක් කියලා. අන්න එතකොට, එයාට සිද්ධ වෙනවා එයාට ලැබෙන ජනප්‍රියත්වය කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ, දෙන්නත් එක්ක කොහේ හරි කන්න ගියපු වෙලාවක, ගෑණු ළමයෙක් දුවලා ඇවිල්ලා ඔටෝග්‍රාෆ් එකක් ඉල්ලුවා කියලා බැහ් ගාන්න බැහැනේ. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. අපි ආන්න ඒ තත්ත්වය තේරුම් ගන්න ඕන.
4. රුසියාවට වඩා ලොකුයි ළමයෝ ඉරිසියාව!

මෙන්න මේක තමයි බොහෝම පරිස්සම් වෙන්න ඕන කාරණාව. ඇත්තටම මේක අපි උඩින් කියපු දෙවෙනි කාරණාව එක්කත් සම්බන්ධයි. ඒ තමයි තමන් ඇතුළේ ඉරිසියාවක් දළුලා වැඩෙනවාද කියන එක. ඒ කියන්නේ, අපි කියමු කොල්ලා හෙන හැන්ඩියා කියලා උදාහරණයක් විදියට. ඔන්න එයාගේ ජොබ් එකේ එයා එක්ක වැඩ කරන්න සෙට් වෙනවා ලස්සන ගෑල්ලමයෙක්. ආන්න එතකොට පුංචි ඉරිසියාවක් හිතට එන්න පුළුවන්. එතකොට ඔයා උත්සාහ කරනවා, අර බල්ලෝ චූ කරලා සීමාව ලකුණු කරනවා වගේ අර ගෑල්ලමයට පේන්න “මෙයා මගේ බෝයිෆ්‍රෙන්ඩ්” කියලා මාක් කරගන්න. ඕක හැබැයි බෝයිෆ්‍රෙන්ඩ්ට කරදරයක් වෙනවා විතරක් නෙවෙයි, එයාගේ ජොබ් එකටත් බාධාවක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා රුසියාවට වඩා ලොකු ඉරිසියාව නං අතෑර ගන්න ඕන.
5. කොතනද සීමාව?

හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඒ තමයි ඕනම දේකට තියෙන සීමාව. උදාහරණයක් විදියට ගත්තොත්, කෙල්ලෙක් ඇවිත් කතාබහ කරන එක කිසිසේත්ම ගණන් ගන්න දෙයක් නෙවෙයි. කෙල්ලෙක් තමන්ගේ කොල්ලා එක්ක චැට් කළත්, ඒකත් ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි කෙල්ලෙක් තැන තැන මේ කොල්ලා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් බව කිය කියා යනවා කියමු. එහෙම නැතිනම් කොල්ලාව බලෙන් ඩේට් වලට ඇදගෙන යන්න හදනවා කියමු. දැන් ඕවලට හරි නම් සීමාව ලකුණු කරලා තිත තියන්න ඕන කොල්ලනේ. හැබැයි කොල්ලට අර හිත රිදෙන්න වචනයක් කියන්න බැරි කෙනෙක් කියමු. ආන්න ඒ වෙලාවට ගෑණු ළමයාට සිද්ධ වෙනවා ඒ සීමාව ලකුණු කරන්න.
6. අවශ්‍ය වෙලාවට පෙණේ!

ඒ සීමාව ලකුණු කරන්න වෙන්නේ, ප්‍රධාන වශයෙන්ම තමන් මේ කොල්ලගේ පෙම්වතිය බව පෙන්නුම් කරලා. සමහර වෙලාවට පැහැදිලිවම කොල්ලගේ කරේ නගින්න එනවා කියලා පේන කෙල්ලෙක්ට කතා කරලා තත්ත්වය තේරුම් කරලා දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එකක්. තමන් කෝපයෙන් කටයුතු කරන්න යන්න නරකයි. මොකද, ඒක තමන්ටම ආපිට කැරකිලා එන්න පුළුවන් විතරක් නෙවෙයි, ඒක ප්‍රශ්නයක් විසඳන ශිෂ්ට සම්පන්න විදියත් නෙවෙයි.
7. බැරිමනම් විතරක් දැඩි තීරණ වලට යමු

මේක ඇත්තටම අවසානයට තියාගන්න ඕන දෙයක්. ඒ කියන්නේ, කිසිමාකාරයකින් වළක්වන්න බැරි විදියට, මේ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනදැනත් කවුරුහරි පස්සෙන්ම එනවා නම්, කොල්ලව බ’ලහත්කාරෙන් ලබාගන්න උත්සාහ කරනවා නම්, ඇත්තටම එතැන තියෙන්නේ ආදරයක් හෝ ආසාවක් නෙවෙයි, මානසික ගැටළුවක්. ඔබ්සෙෂන් එකක්. අන්න ඒ වගේ වෙලාවකට ඉතින් නීතියේ පිහිට පතන්න එහෙම සිද්ධ වෙන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න. ඒක අන්තිම තීරණය. හැබැයි සෑහෙන්න දුරට ඒ වගේ තීරණ වලට යන්න අවශ්‍ය වෙන්නේ නෑ.
Source :lifie.lk


















