වැලිගම සභාපතිගේ අවසන් කටයුතු අද… මැරුවේ දීපු ඔත්තුවකට පළිගන්නද? “මිදිගම ලසා” ඝාතනයේ වෙනස්ම කතාවක් එළියට…

265
කිසියම් නිහඬතාවක් පෙන්නුම් කළ දකුණේ පාතාලය යළි සක්‍රිය වී ඇති බවක් පෙනේ. ඒ මුළු දකුණු පළාතම කලඹමින් මාතර වැලිගම ප්‍රදේශයේදී ඉකුත්දා වෙඩි තබා සිදු කළ මිනිස් ඝාතනයත් සමඟිනි.
 මෙලෙස ඝාතනය වූයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා‘ නමැත්තාය. මොහු මරා දැමීම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේ ඔහු මහජන නියෝජිතයකු වන නිසාය. මෙම රජය පිහිටුවීමෙන් පසු සිදු වූ පළමුවැනි දේශපාලන ඝාතනය මෙය ලෙස සැලකේ.

මේ අනුව මෙම වසර තුළ සිදු කළ වෙඩි තැබීම් සංඛ්‍යාවද සියය ඉක්මවා ගිය අතර මින් ඝාතනය වූ පුද්ගල සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ ගියේය. ඉකුත් මාස 10 තුළ දිගින් දිගටම දිවයින පුරා සිදු කළ පාතාල වෙඩි තැබීම් එකවරම නතර වූයේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සගයන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුවය.

ඊට මාස දෙකකට පසු ගනේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දියද නේපාලයේදී කොටු කරගෙන මෙරටට රැගෙන ආවේය. මෙම අත්අඩංගුවට ගැනීම් දෙකත් සමඟ විදෙස්ගතව සිටි සෙසු පාතාලයන් තුළද කිසියම් බියක් ඇති විය. ඒ සමඟ ඔවුන්ද උන්හිටි තැන් මාරු කළ අතර ඒ සමඟ මෙරට සිදු වූ දවසේ “වෙඩිල්ලද” නිහඬ විය. මේ නිසා බොහෝ දෙනා සැනසුම් සුසුම් හෙළූහ. එහෙත් එම සතුට, සැනසුම නිමා කරමින් ඉකුත් 21 වැනිදා පාතාලයේ තුවක්කුකරුවන්, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා මරා දැමීය. ඒ ඔහු රැඳී සිටි නිල කාමරය තුළදීය.

ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා‘ මෙලෙස ඝාතනය වූයේ මහජන දිනය දා වීම විශේෂත්වයක් විය. එදින වැලිගම සහ ඒ අවට පදිංචිකරුවෝ කිහිපදෙනෙක්ම සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවට පැමිණ සභාපතිවරයා මුණගැසීමේ අරමුණෙන් නිල කාමරය ඉදිරිපිට අසුන්වල වාඩි වී සිටියහ.

නාඳුනන වෙඩික්කරු සභාපති කාමරය අසලට සේන්දු වන්නේ ඔය අතර වාරයේය. ඔහුගේ දකුණු අතේ නිල් පැහැති ලිපි ගොනුවකි. ජංගම දුරකථන ශ්‍රවණ උපකරණයක් කනේ පැලඳ සිටියේය. කළු පැහැති මුඛ ආවරණයක් පැලඳ සිටි තුවක්කුකරු උපැස් යුවළක්ද දමාගෙන සිටියේය. ඔහුගේ වම් අතේ ඇඟිලි පුරුක් වැසී යන සේ ප්ලාස්ටරයක් වැනි දෙයක් අලවා තිබිණි. දකුණු අතේ තිබූ ලිපි ගොනුව තුළ රැගෙන ආ පිස්තෝල අවිය ඔහු සඟවා සිටින්නට ඇත. එම අවස්ථාවේ සභාපතිවරයාගේ නිල කාමරයේ කිසිවකු රැඳී සිටියේය. ඒ කාන්තාවකි. ඇය සභාපතිවරයා හමු වී පිටතට පැමිණීමත් සමඟ සියවාරය එනතුරු නිල කාමරය ඉදිරිපස රැඳී සිටි තුවක්කුකරු, අත තිබූ ලිපිගොනුවද රැගෙන කාමරයට ඇතුළු වූයේ සභාතිවරයා ලවා ඊට අස්සනක් යොදා ගැනීමට වන්නට ඇත.

ඒ සමඟම ඇති වූයේ වෙඩි හඬකි. සභාවේ සිටි සියල්ලෝම කලබල වූහ. නිලධාරීන් සහ නිලධාරිනියෝ නිල කාමරය තුළට පිවිසියහ. සභාපතිවරයා පුටුවෙන් බිමට වැටී සිටියේය. ඔහුගේ ගෙල, පපුව සහ හිසට වෙඩි ප්‍රහාරය වැදී තිබිණි. පිරිසගේ කෑකෝ ගැසීම්, මර ළතෝනි අතරින් තුවක්කුකරු එතැනින් පලා ගියේය. සියල්ලෝම එක්ව වෙඩි වැදුණු සභාපතිවරයා රථයකින් මාතර මහ රෝහලට රැගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කිසිවකුටවත් හැකිවූයේ නැත.

විමර්ශන ඇරැඹුණේ ඉන් පසුවය. මියගිය සභාපතිවරයා 37 වැනි වියේ පසුවූ තිදරු පියෙක්  විය. විශේෂ විමර්ශන නිලධාරීන්ගේ මූලික අවධානය යොමු වූයේ සභාවේ ස්ථාපිත සීසීටීවී කැමරා වෙතය. එය නිරීක්ෂණය කිරීමේදී තුවක්කුකරු යතුරුපැදියකින් තවත් පුද්ගලයකු සමඟ ප්‍රාදේශීය සභාවට පැමිණෙන අයුරු පෙනෙන්නට විය. සභාවේ ප්‍රධාන ගේට්ටුවේ සිට සභාපතිවරයාගේ නිල කාර්යාලයට ඇති දුර මීටර 20ක් පමණය.

යතුරුපැදියේ පිටුපස අසුනේ වාඩි වී පැමිණි වෙඩික්කරු ප්‍රධාන ගේට්ටුව අසලදී ඉන් බැස සභාපතිවරයාගේ කාර්යාලයට පැමිණෙන්නේ පාගමනිනි. එමෙන්ම සභාපතිවරයාට වෙඩි තැබීමෙන් පසු යළිත් පාගමනින්ම ගේට්ටුව අසලට යන ඔහු එතැන නතර කර තිබූ යතුරුපැදියටම නැඟ පලායන්නේය. මේ සියල්ල සීසීටීවී කැමරාවල සටහන් වී තිබිණි.

 සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත විමර්ශන කණ්ඩායම් 4ක් යෙදවිණි. ඔවුන් එක් එක් කණ්ඩායම සඳහා එක් එක් පැති බාර කෙරිණි. තවත් කණ්ඩායමක් තුවක්කුකරුවන් පලා ගිය මාර්ගය දිගේ ස්ථාපිත සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් ඔවුන්ගේ ගමනාන්තය හොයන්නට විය. මේ අතර තවත් කණ්ඩායමක් මරා දැමුණු සභාපතිවරයාගේ ජංගම දුරකථනය ඔස්සේද විමර්ශනයක් ආරම්භ කළ අතර ඝාතනයට පෙර ඔහුට තිබූ ජීවිත තර්ජන ගැනද අවධානය යොමු කළේය.

ඒ අනුව, නිලධාරීන්ට පෙනී යන්නේ ‘වැලිගම ලසාට‘ පාතාලයේ තර්ජන තිබී ඇති බවය. ඒ ඔහු පාතාල කෙරුමන් බොහෝ දෙනකු ඇසුරු කර ඇති නිසාය.

වැලිගම ලසාට  එරෙහිවද නොයෙකුත් චෝදනා එල්ල වී තිබිණි. එමෙන්ම ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙසද සැලකේ. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවටද ගෙන තිබිණි. වැලිගම ප්‍රදේශයේදී බස් රථයක සිටි කාන්තාවන්ගේ රන් බඩු කොල්ලකෑම, සිය නිවෙසේ ස්වයංක්‍රිය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සඟවා ගෙන සිටීම, වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරයකුට තර්ජනය කිරීම, අන් අයකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීම වැනි චෝදනා මෙම සභාපතිවරයාට එරෙහිව තිබූ අතර එම චෝදනා කිහිපයකට වරදකරු වූ මොහු මියයන විටද සිටියේ අත්හිටුවූ සිරදඬුවම් මතය.

ඉන් අනතුරුව දේශපාලනයට අවතීර්ණ වෙමින් දකුණේ පාතාලයද සමඟ සමීප සබඳකම් පැවැත් වූ ‘ලසා‘ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වන්නේද දැඩි අර්බුදකාරී තත්ත්වයකින් අනතුරුවය. වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සඳහා බලඅරගලයක් පැවැති අතර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයකු සහ සභිකාවක් පැහැරගෙන යෑම, තවත් මන්ත්‍රිවරයකු වූ නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවෙසට වෙඩි තැබීම, දුරකථනයෙන් බැන තර්ජනය කිරීම ආදිය ඒ අතර ඔහුට එල්ල වූ චෝදනා විය. කෙසේ වෙතත් අවසානයේ එහි සභාපතිවරයා ලෙස ඔහු පත්වන්නේ එක් වැඩි ඡන්දයක් සමඟිනි.

ඉන් අනතුරුව වැලිගම – මිදිගම ආදී ප්‍රදේශවල අවමංගල්‍ය උත්සවවලට ආධාර කරමින් පාසල් දරු දැරියන්ට පොත්පත් හා පාසල් උපකරණ ලබා දෙමින් කාලය ගත කරන මොහු තමාට ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත දිවුරුම් ලිපියක් සහ පෙත්සමක්ද යොමු කර තිබිණි. ඒ ඉකුත් අගෝස්තු 29 වැනිදාය.

“මා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  වශයෙන් දිවුරුම් දීමට ආසන්න කාලසීමාවේ සිට මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේදී සභාපතිවරයා වශයෙන් දිවුරුම්දීමටද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජන එල්ල විය.

මීට අමතරව විවිධ පාර්ශ්වයන් මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මා හට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි.

මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බවට සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක්ම මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවටද සැලකර සිටිමි.” මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නමැති පුද්ගලයා මුහුණුපොත හරහා පෝස්ටුවක්ද පළ කර තිබේ.

මේ සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් ඇති බැවින්ද එම තර්ජන ශීඝ්‍රයෙන් වර්ධන වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞවරයෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපියට අනුව ලසා ඝාතනය මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් සිදුකළේද යන සැකය නිලධාරීන්ට ඇතිව තිබේ. ඊට තවත් හේතුවක් වන්නේ මිදිගම රුවන් සිය මුහුණු පොතේ තබා තිබූ සටහනක් හේතුවෙනි.

“ගරු සභාපතිතුමා“ ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා, ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එක ගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටිදාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනෙක උඹට මම ගහන්න ඉන්නවා කිය කියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් විධියට හරක් මරන්නේ නැහැ.“

මිදිගම රුවන්ගේ එම ෆේස්බුක් සටහනත්, දිගින් දිගටම එල්ලවූ තර්ජන නිසාත් වැලිගම සභාපතිවරයා පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය යොමු කරන්නට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.

කෙසේ වෙතත් වැලිගම සභාපතිවරයා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියට අමතරව දිවුරුම් පෙත්සමක්ද යවා තිබිණි. එහිදී සිය ජීවිතයට ඇති තර්ජන නිසා තමාට ආරක්ෂාව ලබා දෙන ලෙස දන්වා තිබූ අතර ඔහුට තර්ජන තිබූ පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනකුගේ නම්ද එහි සටහන් කර තිබුණේය. ඒ අනුව රොටුඹ අමිල, කංජිපානි ඉම්රාන්, කෙහෙල්බද්දර පද්මේ සහ පානදුරේ නිලංග යන නම්ද සිය දිවුරුම් පෙත්සමෙන් ඔහු පෙන්වා දී තිබේ.

මිදිගම ‘ලසා‘ තමාට එවන් ජීවිත තර්ජන ඇති බව පැවැසුවත් කලක් ඔහු ‘හරක්කටා, මිදිගම රුවන්, මිදිගම චූටි ඇතුළු එම ප්‍රදේශවල‘ පාතාල සාමාජිකයන් සමීපව ඇසුරු කළ අයකු බවට වාර්තා වේ. 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම නගර සභාවට තරග කර පරාජය වුවද ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා හරක්කටාගේ සහාය හිමිව තිබූ බවද එවකට වාර්තා විණි. කෙසේ වෙතත් මැඩගස්කරයේදී  අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහු හරක්කටා සමඟ තිබූ සබඳතා අතහැර දමා ඇතැයිද කියති.

මිදිගම රුවන් යනු හරක්කටාගේ විශ්වාසවන්තම සමීපතම මිතුරෙකි. හරක්කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරට රහස් පොලිසියේ රඳවා තිබියදී හිටපු කමාන්ඩෝ සෙබළුන් යොදවා හරක්කටා රහස් පොලිස් රැකවරණයෙන් මුදාගැනීමට පවා මිදිගම රුවන් විශේෂ කාර්යභාරයක් සිදු කළ අයෙකි. කෙසේ වෙතත් හරක්කටා අත්අඩංගුවට පත්වීමත් සමඟ මිදිගම චූටි සහ මිදිගම රුවන් නොයෙකුත් ආරවුල් ඇති කරගෙන තිබූ අතර පසුව මිදිගම චූටි සහ මිදිගම රුවන් අතරද විරසකයක් ඇතිව තිබේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා බව වාර්තා වේ. කෙසේ වෙතත් හරක්කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු මිදිගම චූටි සහ මිදිගම රුවන් සමඟද සමීපව ඇසුරු කළ ”මිදිගම ලසා” ඉන් අනතුරුව රුවන් සමඟද විරසකයක් ඇති කරගෙන තිබේ.

මේ අතර මෙම විරසකය තවත් උග්‍රවන්නේ මිදිගම රුවන්ට අයත් බව කියන ටී. 56 ගිනි අවි හතරක් වැලිගම ඉබ්බාවලදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟිනි. මෙම ගිනි අවි රුවන්ගේ ළඟම ඥාතියකුගේ නිවෙසක තිබී සොයා ගැනුණු අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ඔත්තුව ලබාදී ඇත්තේ ”වැලිගම ලසා” බවට සැක සහිත තොරතුරු ලැබීමත් සමඟ මිදිගම රුවන් ලසා සමඟ තිබූ විරසකය තවත් උග්‍රවී ඇති බව කියයි.

මේ අතර පසුගියදා තවත් සිදුවීමක් වාර්තා විණි. ඒ මිදිගම රුවන්ගේ සමීපතමයන් ලෙස සැලකෙන දියමත ලිස්සීමේ ක්‍රීඩාවේ නිරත තරුණයන් පිරිසකට මියගිය සභාපතිවරයා විසින් කළැයි කියන පහරදීමකි.

එම සිදුවීමෙන් පසු සිය මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ මිදිගම රුවන් එමඟින් ”මගේ කොල්ලෙක් හරි හිර කරන්න හැදුවොත්…” යනුවෙන් සභාපතිවරයාට පෙර දැනුම්දීමක්ද කර තිබිණි.

මෙම කරුණු කාරණා මත ලසන්ත සභාපතිවරයාගේ ඝාතනය මිදිගම රුවන් විසින් මෙහෙයවන්නට ඇති බවට සැකයක් විමර්ශන නිලධාරීන් අතර ඇතිව තිබේ.
කෙසේ වෙතත් සභාපතිවරයා දැනුම් දෙන ආකාරයට මිදිගම රුවන් හැරෙන්නට ඔහුට මරණ තර්ජන එල්ල වී ඇති අනෙක් පාතාල අපරාධකරුවන් දෙසද විමර්ශකයන්ගේ අවධානය යොමුවී තිබේ.

මිදිගම රුවන් විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු මේ වන විට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී. ඔහු මෙම ඝාතනය බන්ධනාගාරයේ සිට මෙහෙයවන්නට ඇති බවට සැකයක් නිලධාරීන් තුළ ඇතිව තිබෙන්නේ ඔහු බන්ධනාගාරය තුළ සිට හා මුහුණු පොත හරහා විවිධ පෝස්ටු පළ කරන හෙයිනි.

බූස්ස බන්ධනාගාරය තුළට කිසියම් උපකරණයක් පිටතින් ගෙන යෑමට නොහැකි බව පැවැසුවද මිදිගම රුවන් ජංගම දුරකථන හරහා මුහුණු පොතට සම්බන්ධ වී සිටින්නේද බන්ධනාගාරය තුළ සිට බව කියයි.

මිදිගම රුවන් හැරෙන්න වැලිගම සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් රොටුඹ අමිල නමැත්තා ගැනද විමර්ශන නිලධාරීන්ගේ සැකය එල්ල වී තිබේ. එහෙත් ලැබී ඇති තොරතුරුවලට අනුව ලසන්ත ඝාතනය වන අවස්ථාව වන විට රොටුඹ අමිල සිට ඇත්තේ රුසියාවේ බව කියයි. විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඔහු රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බවද අනාවරණය වේ.

රොටුඹ අමිල විදේශගතව සැඟව සිටියදී ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබිණි. එහෙත් ඔහු එරටදී කොටුවන්නේ ව්‍යාජ ලෙස ලබාගත් වීසා බලපත් හේතුවෙන් බව වාර්තා වේ. එතැන් පටන් ඔහුට ආගමන – විගමන නීතිය යටතේ නඩුවක් පවතින බවද සැලවේ. කෙසේ වෙතත් රොටුඹ අමිල මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මේ වන විටත් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

ලසන්ත වික්‍රමසේකර පෙන්වා දෙන ආකාරයට ඔහුට ජීවිත තර්ජන ඇති සෙසු අපරාධකරුවන් වන්නේ, කංජිපානි ඉම්රාන්, කෙහෙල්බද්දර පද්මේ සහ පානදුරේ නිලංග යන තිදෙනාය. මොවුන්ගෙන් කෙහෙල්බද්දර පද්මේ මෙන්ම පානදුරේ නිලංග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය. ඒ අනුව තවමත් විදේශගතව සැඟව සිටින්නේ කංජිපානි ඉම්රාන් පමණි. ලසන්ත වික්‍රමසේකර සභාපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති ආකාරයට මෙම සංවිධානාත්මක අපරාධකරුවන් ඔහුට එල්ල කළේ යැයි කියන තර්ජන සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේද විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමසේකර ඝාතනය බූස්ස බන්ධනාගාරයේ සිට මෙහෙයවූවක්ද යන්න දැනගැනීම සඳහා පුළුල් විමර්ශනයක් මේ වන විටත් අරඹා ඇති අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙවන් රැඳවියන්ගේ ක්‍රියාකලාපය සහ බන්ධනාගාරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක්ද කර තිබෙන බව කියයි.

මේ අතර ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ තුවක්කුකරුවන් සොයා සිකුරාදා රාත්‍රිය වනතුරුත් මෙහෙයුම් සිදුකළද ඔවුන් අත්අඩංගුවට ගැනීමට එතෙක් හැකිවී නැතැයි වාර්තාවේ. මෙම මෙහෙයුම් සී.සී.ටී.වී. කැමරා ඔස්සේ සිදුකෙරෙන අතර එම කැමරා නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වන්නේ ලසන්තට වෙඩි තැබූ තුවක්කුකරුවන් මාතර, නූපේ, අකුරැස්ස හරහා අහංගම දෙසට පලායන ආකාරයයි. එලෙස පලායන මාර්ගවල ස්ථාපිත සී.සී.ටී.වි. කැමරා නිරීක්ෂණය කරද්දී මෙලෙස පලායන තුවක්කුකරුවන්ගෙන් අයකු අතරමඟදී වෙනත් යතුරුපැදියක නැඟී ගමන් කරන ආකාරයද නිරීක්ෂණය වෙමින් තිබේ. ඔවුන් හඳුනාගැනීම සඳහා එම කැමරා දැඩි ලෙස නිරීක්ෂණය කෙරෙන අතර එම පළාත්වලට ඇදහැලෙන වර්ෂාව විමර්ශනයට බාධාවක් වී තිබේ.

විමර්ශනවල ප්‍රගතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දිනපතා විමසා බැලෙන අතර විමර්ශන නිලධාරීන් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අවශ්‍ය උපදෙස් ලබාදීමක්ද සිදුවේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ ලසන්තගේ ඝාතකයන් එම විමර්ශන ඔස්සේ හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවකි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ ලසන්තගේ ඝාතකයන් පිළිබඳ සාර්ථක තොරතුරු ලැබී ඇති බවත් එම සැකකරුවන් දින දෙක තුනක් ඇතුළතදී අත්අඩංගුවට ගන්නා බවත්ය.
කීර්ති මෙන්ඩිස්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *