සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඉකුත් පෙබරවාරි 19 දා පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ කරළියට ආ පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ මේ වන විට පසුවන්නේ දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේය.
කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්දගේ මෙහෙයවීමෙන් ගණේමුල්ල සංජීව ඝාතනයේ සියලු සැලැසුම් ඉතා සූක්ෂ්ම ලෙස මෙරට සිට සිදුකළ තැනැත්තිය ඉෂාරා සෙව්වන්දි ලෙසත් සංජීවට වෙඩි තැබූ පුද්ගලයා සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු බව ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ තහවුරු විය.
වෙඩි තැබීමෙන් පසු සමිඳු සහ ඉෂාරා අධිකරණ භූමියේ සිට මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් එහිදී දෙදෙනා වෙන්වී තිබිණි. ඒ අනුව සමිඳු රටින් පලා යාමේ අරමුණින් NW PE 5293 දරන සුඛෝපභෝගී වෑන් රථයකින් කල්පිටිය ප්‍රදේශයට යමින් සිටියදී පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ, කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායම විසින් පාලවිය ප්‍රදේශයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා සමිඳුව අත්අඩංගුවට ගැනිණි.
සමිඳු සන්තකයේ තිබූ හැඳුනුම්පතකින් අධිකරණ භූමියේ ඔහු සමඟ සැරිසැරු කාන්තාව ඉෂාරා සෙව්වන්දි බව නිශ්චිත ලෙසට අනාවරණය වුවත් ඇය පලා ගිය ඉසව්ව ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට ආරක්ෂක අංශ වෙත හැකියාවක් නොලැබිණි.
එලෙස සංජීව ඝාතනයෙන් මාස අටක පමණ කාලයක් ඉෂාරා සිදුකළ ‘හැංගිමුත්තන් සෙල්ලම්‘ අවසන් වූයේ ඉකුත් 12 වැනිදා පෙරවරුවේදීය. ඒ නේපාලයේ, කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 17ක් පමණ දුරකින් පිහිටි ඓතිහාසික නගරයක් වන භක්තපූර්හි හෝටලයක රැඳි සිටියදී ඇය අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.
නේපාලයේ සිට මෙරටට රැගෙන ආ ඉෂාරා සමඟ අත්අඩංගුවට ගත් ජේ.කේ.බායි, තක්ෂි සහ ජැෆ්නා සුරේෂ් රඳවා තබාගෙන විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී. විජේතුංගගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරින් කණ්ඩායම ඉෂාරා ඇතුළු සිවුදෙනාගේ පාපෝච්චාරණවලින් මේ වන විට ඉෂාරාට මෙරට සැඟවී සිටීමට මෙන්ම මෙරටින් පලා යාමට සහාය දුන් සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ වැලිපැන්න, මතුගම, මිද්දෙණිය, කිලිනොච්චිය, යාපනය සහ තිහාරිය ප්‍රදේශයෙනි.
සංජීව ඝාතනයෙන් පසු කොච්චිකඩේ ප්‍රදේශයේදී කොමාන්ඩෝ සමිඳුගෙන් වෙන්වුණු ඉෂාරාට, කෙහෙල්බද්දර පද්මේ උපදෙස් දී තිබුණේ අලුත්ගම ප්‍රදේශයට යන ලෙසය. ඒ අනුව ඇය ඇඳසිටි ඇඳුම් මාරුකොට ත්‍රීරෝද රථ දෙකක සහ මගී බස්රථයක නැඟි පැය කීපයක් ඇතුළතදී අලුත්ගම ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත ගොස් තිබුණාය.
එලෙස යන අතරේ ඇය අධිකරණ සංකීර්ණයේදී භාවිත කළ ජංගම දුරකතනය විනාශ කිරීමට බාර දී තිබුණේ ඇය ගිය ත්‍රිරෝද රථයක රියැදුරෙකුටය. එම ත්‍රිවිල් රියැදුරා ගම්පහ පදිංචි කෙහෙල්බද්දර පද්මේගේ හිතවතෙකි. ඔහු එම ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක වළ දමා තිබියදී විමර්ශන නිලධරින් ඉකුත්දා සොයා ගත්තේය.
අලුත්ගම බස් නැවතුමට පැමිණි ඉෂාරා රැගෙන යාමට එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණියේ කාන්තාවකි. ඇය ඉෂාරා යතුරුපැදියේ නංවාගෙන රැගෙන ගොස් තිබුණේ එම කාන්තාව පදිංචිව සිටි වැලිපැන්න, හොලින්බෝන් වත්තේ නිවෙසටය. එම නිවෙසේ එදින රාත්‍රිය ගත කළ ඉෂාරා නැවත පසුදා දහවලේ එම කාන්තාව විසින්ම යතුරුපැදියේ නංවාගෙන රැගෙන ගොස් තිබුණේ වැලිපැන්න නගරයටය.
ඉෂාරාගේ මඟ පෙන්වීම් අනුව එම ප්‍රදේශයට ගිය කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින් එම කාන්තාව අත්අඩංගුවට ගැනිණි. ඇය 52 හැවිරිදි ඩී. ප්‍රියංකාය. ඇය රජයේ රෝහලක උපස්ථායිකාවකි. එම කාන්තාවගේ දියණියන් දෙදෙනාගෙන් කෙනෙකු විවාහ වී සිටියේ අලුත්ගම පොලීසියට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල් ප්‍රශාන් සමඟය. ඔහුද එම නිවෙසේ පදිංචිව සිටියේය.
ඉෂාරා එම නිවෙසේ සිටි බව දුටුවද එම පොලිස් කොස්තාපල්වරයා මුලින් කිසිවක් දැන නොසිටියද පසුව ඇය නිවෙසින් ගිය පසු දැනගෙන ඇත්තේ ඒ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය විසින්ද ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ඡායාරූපද මාධ්‍යයට නිකුත් කරමින් මහජන සහාය පතමින් අත්අඩංගුවට ගැනීමට සොයන ඉෂාරා එම නිවෙසේ රාත්‍රිය ගත කළ බවය. එහෙත් එම කොස්තාපල්වරයා ඉෂාරා නේපාලයේදී අත්අඩංගුවට පත්වූ පසුවද ඒ ගැන කිසිම වගකිවයුතු පොලිස් නිලධාරියකු දැනුම්වත්කර නොතිබිණි. එම නිසා එම පොලිස් කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ගැනිණි.
ඉෂාරාට එලෙස නවාතැන් දුන් කාන්තාවගේ පුත්‍රයා ඩුබායි ලහිරු හෙවත් සුද්දාය. ඔහු විදෙස් රටට සිටින මතුගම ප්‍රදේශයේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ ශාන් අරෝෂ ජයසිංහ හෙවත් මතුගම ශාන්ගේ ළඟම හිතවතෙකි. ඉෂාරාට නවාතැන් ලබාදුන් හෙයින් අත්අඩංගුවට ගත් ප්‍රියංකා ද පසුගිය පළාත් පාලන මැතිවරණයට වැලිපැන්න කොට්ඨාසයට ‘කොස් ගෙඩිය‘ ලකුණින් ස්වාධීන කණ්ඩායමකින් තරග වැදුණු අපේක්ෂිකාවකි. ඇයගෙන් විමර්ශන නිලධාරින් ප්‍රශ්න කළාය.
“සර්… මතුගම ශාන් කාලයක ඉඳන් අපේ හිතවතෙක්. ඔය දවසේ ශාන් කතා කරලා කිව්වා, ගෑනු කෙනෙක් අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකට එයි… ගිහිල්ලා එයාව ගෙදර එක්කගෙන ඇවිත් මං කියනකල් තියාගන්න කියලා… පහුවදා ආයෙත් ශාන් කතා කළා… එයා කිව්වා ඒ ගෑනු ළමයා වැලිපැන්න ටවුන් එකට ගිහින් බස්සන්න කියලා… මම කළේ ඒ දේ පමණයි…“ යැයි එම කාන්තාව පැවැසුවාය.
එලෙස ප්‍රියංකා විසින් ඉකුත් පෙබරවාරි 20දා දහවලේ ඉෂාරා වැලිපැන්න නගරයට රැගෙන ගිය පසු මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඇයව රැගෙන ගොස් තිබුණේ මතුගම, බාලිකා පාරේ පිහිටි එම පුද්ගලයාගේ නිවෙසටය. එම නිවෙස හිමි පුද්ගලයා ව්‍යාපාරවල නිරත වන සජිත් දිනුෂය. ඔහු මතුගම ශාන්ගේ පාසල් මිතුරෙකි. ඉෂාරාගේ පාපෝච්චාරණය මත ඇයට නවාතැන් දුන් සජිත්ද ඉකුත් 17දා අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දි ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා දක්වා මතුගම ප්‍රදේශයේ සැරිසරා තිබුණාය. එලෙස කෙහෙල්බද්දර පද්මේ සමඟ ශාන්ට තිබූ හිතවත්කම මත ශාන්ගේ හිතමිතුරන් විසින් ඉෂාරා සඟවාගෙන දින 52ක පමණ කාලයක් ගතකර තිබිණි. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ සහ ශාන් අතර ළඟ හිතවත්කමක් තිබී ඇති බව සැල වේ.
පද්මේට පෙර අපරාධ ලෝකයට පැමිණි අයෙක් වන ශාන් විසින් පද්මේට ලබා දුන් ගිනිඅවියක් යොදාගෙන පද්මේ සිය ගෝලයන් යොදවා පස් පොඩ්ඩා ඝාතනය ද සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ශාන් කළුතර දිස්ත්‍රික්කයේ පසුගිය රජයන්හි ප්‍රබල දේශපාලනඥයන් සමීපව ඇසුරු කරමින් සිටි අයෙකි.
එලෙස මතුගම සැඟව සිටි ඉෂාරා අනතුරුව අවුරුදු සමයේ අප්‍රේල් 13දා කුලී මෝටර් රථයකින් ගොස් තිබුණේ මිද්දෙණියේ, ලබුහේන්ගොඩ පිහිටි නිවෙසකටය. එම නිවෙසේ හිමිකරු බැකෝ සමන්ගේ ළඟම හිතවතෙකි. ඔහු 36 හැවිරිදි සුපුන් ප්‍රදීප් කුමාරය. සුපුන් ඉකුත්දා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණේ පද්මේ සහ බැකෝ සමන්ගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ අනාවරණය වූ තොරතුරු මතය. සුපුන් නුගේගොඩ පහත්බිම් සංවර්ධන අධිකාරියේ ට්‍රැක්ටර් රියැදුරෙක් ලෙස රැකියාව කළ අයෙකි.
ඉකුත් සැප්තැම්බර් 2දා සුපුන් අත්අඩංගුවට ගැනුණේ පද්මෙලාගේ උපදෙස් මත මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටි පුද්ගලයකු යොදවා හරක් කටා අධිකරණයට රැගෙන එද්දී ඝාතනය කිරීමට සූදානම්කර තිබූ ගිනිඅවිය ඇටවූ කැමරාව ළඟ තබා ගැනීම හේතුවෙනි. කෙසේ හෝ පද්මෙලා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු විසින් එම ගිනිඅවිය ඇටවූ කැමරාව පුලුස්සා තිබිණි. එම සුන්බුන් සුපුන් අත්අඩංගුවට ගැනීමත් සමඟ සොයා ගැනිණි.
සුපුන්ගේ නිවෙසේ සති තුනක පමණ කාලයක් ගතකර ඇති ඉෂාරා ඉකුත් මැයි මස 6දා පැවැති පළාත් පාලන මැතිවරණයදා සුපුන් විසින් පැදවූ ඇල්ටෝ මෝටර් රථයෙන් ඇයව රැගෙන ගොස් තිබුණේ කිලිනොච්චියටය. එලෙස මිද්දෙණියේ එම නිවෙසේ ඉෂාරාට නවාතැන් ලබාදීම හේතුවෙන් සුපුන් අත්අඩංගුවට ගෙන සිටි හෙයින් ඉෂාරා ගැන දැනුම්වත්ව සිටියද ඇය ගැන පොලීසිය දැනුම්වත් නොකිරීමේ චෝදනාව මත සුපුන්ගේ බිරියද ඉකුත් 17දා අත්අඩංගුවට ගැනිණි. ඇය 26 හැවිරිදි රේණුකා මල්කාන්තිය.
කිලිනොච්චියේ නිවෙසක දින දෙකක් ගත කර ඇති ඉෂාරා අනතුරුව යාපනේ නිවෙසකද ගත කිරීමෙන් පසු යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී තිදෙනෙකුගෙන් යුත් කුඩා බෝට්ටුවකට නැඟී රාත්‍රීය පුරා ඉතා වෙහෙසකර ගමනකින් පසු එම කණ්ඩායම ඉෂාරා රැගෙන ගොස් තිබුණේ ඉන්දියාවේ තමිල්නඩු වෙරළටය. ඉෂාරා පොලීසියට පවසා තිබුණේ ඇය එතෙක් ජීවිතයේ ගිය දුෂ්කරම ගමන එම බෝට්ටු ගමන බවත් ගොඩබිමට යන තෙක්ම හැඬු කඳුළින් පසුවූ බවය.
එසේම බෝට්ටුව පෙරළී කුමන මොහොතක හෝ ජීවිතය නැතිවේදෝ යන දැඩි බියක්ද ඇතිවූ බවයි. එලෙස ඉන්දියාවට ගිය ඇය එහිදී භාර ගැනුණේ ජේ.කේ. බායි විසිනි. එසේම ජේ.කේ. බායිගේ හිතවතෙක් වන ආනන්දන් නමැත්තා ඉෂාරාට කිලිනොච්චියේදී සහ යාපනේදී ඉඳුම්-හිටුම් සපයමින් බෝට්ටුකරුවන්ද සපයා දී තිබිණි. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වියදම් කර ඇත්තේ ජේ. කේ. බායි විසිනි. ආනන්දන් නමැත්තා මහා පරිමාණයෙන් මිනිස් ජාවාරමේ යෙදෙන තැනැත්තෙක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.
ඉෂාරාට කිලිනොච්චියේදී සහ යාපනේදී නවාතැන් පහසුකම් සැපයු අයවලුන් සහ බෝට්ටුවේ ස්කීපර්වරයා ඇතුළු තිදෙනෙක් සමඟ 29 හැවිරිදි ආනන්දන්ද ඉකුත් 21දා රාත්‍රියේ තිහාරිය, ඕගොඩපලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාස නිලධරයෝ සමත් වූහ. ඒ ආනන්දන් ජේ.කේ. බායි අත්අඩංගුවට පත්වීමෙන් පසු යාපනය ප්‍රදේශයෙන් පැමිණ සැඟවී සිටියදීය. ඊට අමතරව ඉෂාරා ඉන්දියාවට රැගෙන ගිය ආනන්දන්ට අයත් බෝට්ටුවද පොලීසිය භාරයට ගෙන ඇත.
යුරෝපා රටකට යාමේ අරමුණින් ඉන්දියාවට ගිය ඉෂාරා හට ඒ සඳහා සියලු පහසුකම් සලසා දී තිබුණේ ජේ.කේ. බායිය. ප්‍රකට මිනිස් ජාවාරම්කරුවකු වන ජේ.කේ. බායිට ඉෂාරා යුරෝපා රටකට යැවීම සඳහා මුදල් ලෙස රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් කෙහෙල්බද්දර පද්මේ විසින් ලබා දී ඇත. ඉන්දියාවේ මාසයක පමණ කාලයක් ගතකර ඇති ඉෂාරා එම කාලය තුළදී ඉන්දියාවේ බැංගලෝරයේ කාන්තාවක ලෙස පෙනී සිටිමින් තමිලිනි නමින් හැඳුනුම්පතක්ද සාදවා දී ඇත්තේ ජේ.කේ. බායිය.
අනතුරුව ඉන්දියාවේ සිට දුම්රිය, බස්රථ සහ කුලී රථ ඔස්සේ දින හතක පමණ ඉතා වෙහෙසකර ගමනකින් පසු ජේ.කේ. බායි විසින් ඉෂාරා නේපාලයට රැගෙන ගොස් ඇත්තේ ඉකුත් ජූලි මාසයේදීය. නේපාලයේ ඇය මාස කිහිපයක් ගතකර ඇත්තේ යුරෝපා රටකට යාමේ සිහිනය සපථ කරගැනීමේ අටියෙන් මුරුසි දිවයිනට පලා යාමේ බලාපොරොත්තුවෙනි.
උපුටා ගැනීම – සිළුමිණ