BREAKING NEWS
Search

තරුණයන්ගේ හන්තානේ ට්‍රිප් එක රෝහලෙන් නිමාවේ

441

කොළඹ ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක්ව අතරමංව සිටියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් සොයාගෙන බඹරුන් ඇනීමෙන් අසාධ්‍යව සිටි තරුණයන් තිදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

පස්දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 26-28 අතර තරුණයන් කණ්ඩායමක් ඊයේ  (18) පෙරවරුවේ හන්තාන කන්ද තරණය කිරීම ආරම්භ කොට ඇති අතර සවස 4.00 පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණු ආසන්නයේදී ඔවුන් බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය කියයි.

එම බඹ ප්‍රහාරයෙන් කලබල වී ඉන් බේරීම සඳහා කන්දේ ඒ මේ අත දිව යාමෙන් අධික මීදුමත් වර්ෂාවත් හේතුවෙන් ඔවුන් කන්ද තුළ අතරමං වී යන එන මං සොයා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ නමුත් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ප්‍රමුඛ දස දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ යුද හමුදා කාණ්ඩයක් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව රාත්‍රී 9.00 ට පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේෂණ කුළුණු ආසන්නයේ සිටියදී ඔවුන් සොයාගත් බව පොලිසිය කියයි.

එම තරුණයන් ගම්පහ, කිරිබත්ගොඩ සහ වරකාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසන පොලිසිය බඹර ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි තිදෙනෙකු මහනුවර ජාතික රෝහලේ 28 වාට්ටුවට ඇතුලත් කොට ඇති අතර අනෙක් තරුණයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *