සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා 2025 පෙබරවාරි 19 වන දින කොළඹ අලුත්කඩේ අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් කණ්ඩායමක් නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.
ඒ මහතා එසේ පැවසුවේ අද (14) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
තාක්ෂණික මෙවලම් අනුසාරයෙන් සිදුකළ දීර්ඝ හා රහසිගත සැලසුමකින් පසුව, විශේෂිත වූ පොලිස් කණ්ඩායමක් මගින් මෙම වැටලීම සාර්ථක කර ගැනීමට හැකි වූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.
ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් එක් සැකකාරියක් සහ සැකකරුවන් හතර දෙනකු ඇතුළු සමස්ත සැකකරුවන් හය දෙනෙකු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි, මුහුදු මාර්ගයෙන් මෙරටින් පළා ගොස් ඇති බව අනාවරණය වූ බවත්, ඒ අනුව ඇය සිටින ස්ථානය පිළිබඳව තාක්ෂණික තොරතුරු ඇසුරින් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන සිදු කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළදී උදර්පන නීතිය (Extradition Law) හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවත් මෙම ඝාතනයට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ සැඟවී සිටි ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම, මෙරට සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ක්‍රියාවලියේ වැදගත් ඉදිරි පියවරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.


















