කෑගල්ල පිංදෙණිය පොලිස් වසමේ තුංතොට ප්‍රදේශයේ මැටි ගඩොල් කැපීමට පස් අඹරන මැෂිමකට පස් දමමින් සිටිය දී පය ලිස්සා මැෂිමට වැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි තරුණයකු පැය තුනක මෙහෙයුමකින් දිවි ගලවාගෙන ඊයේ (07) දහවල් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි. මෙලෙස කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පිංදෙණිය පොලිස් වසමේ තුංතොට ප්‍රදේශයේ පදිංචිව සිටින 27 හැවිරිදි තරුණයෙකි.
බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති තරුණයා තවත් තරුණයකු සමඟ මැටි ගඩොල් කැපීම කාලයක සිට සිදු කරමින් තිබේ. මොවුන් පස් අඹරන මැෂිමක් ආධාරයෙන් පස් අඹරා ගන්නා අතර පසුව ගඩොල් කැට කපා වේළා ගැනීම සිදු කරයි.
සුපුරුදු පරිදි ඊයේ (07) තරුණයන් දෙදෙනා ගඩොල් කැපීම සිදු කරන ස්ථානයට පැමිණ වැඩ ආරම්භ කර ඇති අතර පෙරවරු 10.00ට පමණ පස් අඹරන මැෂිම පණ ගන්වා අසල තිබුණු උදැල්ලකින් පස් මැෂිමට ඇතුළු කරමින් සිටි අවස්ථාවේ දී තරුණයාගේ පය ලිස්සා පස් ඇඹරෙමින් තිබුණු මැෂිමට වැටී තිබේ. පසුව ක්‍රියාත්මක වෙමින් තිබුණු යන්ත්‍රය නතර වී තරුණයා ඊට සිර වී ඇත.
සෙසු තරුණයන් කෑගැසීමෙන් පසු අසල්වැසියන් ද කෑගල්ල පොලීසිය භාරයේ රඳවා ඇති 1990 හදිසි ගිලන් රථය ද කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා විසින් විශේෂඥ වෛද්‍යවරයකු හා තවත් වෛද්‍යවරයෙක් ද සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායමක් හා ගිලන් රථයක් ද අදාළ ස්ථානයට පිටත් කර යැවිණි. පසුව පැය තුනක මෙහෙයුමකින් තරුණයා යන්ත්‍රයෙන් මුදාගෙන මූලික ප්‍රතිකාර ලබාදෙමින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කෙරිණි. තරුණයාගේ වම් කකුලේ අස්ථියක් බිඳී ඇති බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය. තරුණයාගේ ජීවිතයට හානියක් නැති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කෑගල්ල විශේෂ-චමින්ද ජයලත්




















