නයිටිංගේල් ඔෆ් ඉන්ඩියා නොහොත් භාරත ගීත කෝකිලාව ලෙස ලොවම හැඳින්වූ ලතා මංගේෂ්කාර් 2022 පෙබරවාරි 6 දා තම දිවි සැරිය නිමා කළේ 92 හැවිරිදි වියේදීය.
කොවිඩ් 19 රෝගයෙන් ආතුරව සිටි ඇය ඉන් ඇති වූ සංකූලතා හේතුවෙන් තම කීර්තිමත් දිවිය අවසන් කළාය. ලතා මංගේෂ්කාර්ගේ වෘත්තීමය දිවිය පිළිබඳව බොහෝ දෙනෙක් දැන සිටයද ඇය සදාකාලිකව අවිවාහකව සිටියේ මන්ද යන්න දැන සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.
ලතාගේ අභාවය සිදු වූ දිනයේ ඉන්දියාවේ එන්. ඩී. ටීවී රූපවාහිනි සේවයට අදහස් දැක්වූ ඇයගේ සමීප හිතවතියක වූ සුප්‍රකට බොලිවුඩ් නිළි ෂර්මිලා තාගෝර් ලතා මංගේෂ්කාර් දැඩි ක්‍රිකට් රසිකාවියක් වූ බව සඳහන් කළාය. ෂර්මිලාගේ සැමියාද ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අතර ක්‍රිකට් තරග පැවැත්වෙන අතර තුර ඇයට කතා කොට තරගය පිළිබඳ තොරතුරු විමසන බවද. වසර 1983දී ඉන්දීය කණ්ඩායම ICC ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ කණ්ඩායමට මුදලින් උපකාර කිරීම සඳහා ඇය ප්‍රසංගයක් පවත්වා රුපියල් ලක්ෂ 20ක් උපයා දුන් බවද ඇය එම අවස්ථාවේ සඳහන් කළාය.
ලතා ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කළාය. එම ආදරය තුළ ඇගේ ආදර කතාවද සැඟවී තිබිණි. ඊට හේතු වූයේ ඇය හා 1950 දසකයේ රාජස්තාන මැදි වේග පන්දු යැවූ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු හා පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු බවට පත් වූ රාජ් සිං දුන්ගර්පූර් අතර තිබූ ප්‍රේමයයි.
රාජ් සිං දුන්ගර්පූර්ගේ ලේලියක වූ බිකානර්හි රජ කුමරිය වන රාජ් ශ්‍රී ඇගේ මාමා සහ ලතා මංගෙස්කාර් අතර පැවැති ප්‍රේමය පිළිබඳව කෘතියක් ලියා තිබේ. එහි නම ‘Palace of Clouds-A Memoir’ ය. රාජ් සිං හා ලතා මංගේෂ්කාර්ගේ හමුව සිදුවී ඇත්තේ ඇයගේ බාල සොහොයුරා වන හෘදයානාත් මංගේෂ්කාර් මගින්යැයි එම කෘතියේ සඳහන් වේ.
රාජ් සිං දුන්ගර්පූර් යනු දුන්ගර්පූර්හි මහාරාජා වූ මහරාවල් ලක්ෂ්මන් සිං ගේ බාල පුත්‍රයාය. රාජ් සිං 1959 දී නීතිය හැදෑරීමට මුම්බායි වෙත ගියේය.
ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. ලතා මංගේෂ්කාර්ගේ සහෝදර හෘදයානාත් ද ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ඒ හේතුවෙන් රාජ් සිං හා හෘදයනාත් මිතුරන් බවට පත් වූහ.
එම මිතුදම නිසා රාජ් සිං නිතරම හෘදයනාත් මංගේෂ්කාර්ගේ නිවසට ගියේය. ඔහුට මුලින්ම ලතා මංගේෂ්කාර් මුණගැසුණේ ඇගේ නිවෙසේදීය. ඒ වන විට ලතා ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අතර රාජ් සිං ද ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස නමක් දිනා සිටියේය.. නිතර තම නිවෙසට ආ මෙම කඩවසම් තරුණයා වෙත ලතාගේ සිත බැඳිනි. ඔවුහු මිතුරන් බවට පත් වූහ. ඔවුන්ගේ මුල් මිතුදම පසුව ආදරයක් බවට පරිවර්තනය වූ අයුරු රාජ් ශ්‍රී ගේ කෘතියේ සඳහන්ය.
සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු රාජ් සිං යළි දුන්ගර්පූර් ගියේය. තම පෙම්වතිය පිළිබඳව ඔහු මව්පියන් දැනුම්වත් කළ අවස්ථාවේ මහාරාජා එම විවාහයට මුළුමනින්ම විරුද්ධ විය. රාජ් සිං රාජකීයයකු නොවන කාන්තාවක සමඟ විවාහ වීම මහාරාජා ප්‍රතික්ෂේප කළේය. රාජ් සිං දුන්ගර්පූර්ට පවුලේ බලපෑම්වලට යටත් වීමට සිදු වූ අතර අවසානයේ විවාහය අතහැර දැමීමට සිදු වූ බව රාජ් ශ්‍රී තම කෘතියේ සඳහන් කර තිබේ.
ඔහුට තම පෙම්වතිය අමතක කළ නොහැකි වූ අතර ලතාද තම ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් ජීවිතයම කැප කළාය. සැබෑ ප්‍රේමය යනු එකිනෙකා අත්පත් කර ගැනීම නොව එකිනෙකා වෙනුවෙන් ජීවත් වීම බව ඔවුන් දෙදෙනාම පසක් කළේ දෙදෙනාම මිය යන තෙක්ම අවිවාහකයන් ලෙස ජීවත් වීමට තීරණය කිරීමෙනි. කෙතරම් මිල මුදල් , ප්‍රසිද්ධිය තිබුණද ඔවුහු ප්‍රේමයේ නාමයෙන් මිය යන තෙක්ව තනිකඩයන් ලෙස දිවි ගෙවූහ. රාජ් සිං ලතා මංගේෂ්කාර් ඇමතූ ආදරණිය නාමය වූයේ ‘මිතු’ කියා යැයි රාජ්ශ්‍රීගේකෘතියේ සඳහන් වේ.
1983 වසරේ ඉන්දියාව ICC ලෝක කුසලානය දිනා ගත්තේය. එම ජයග්‍රහණය සමරන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව මුදල් තිබුණේ නැත එවක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ රාජ් සිං ය. ඔහු තමන් මුහුණ පා ඇති තත්ත්වය ලතාට කීවේය. ඇය නොමිලයේ සංගීත සංදර්ශනයක් පවත්වා ක්‍රිකට් පාලක මණ්ඩලයට අරමුදල් එකතු කිරීමට පියවර ගත්තාය. දිල්ලියේ ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේ ඇය පැවැත්වූ ප්‍රසංගයෙන් උපයාගත් රුපියල් ලක්ෂ 20ක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දුන්නාය. එය 1983 දී අතිවිශාල මුදලක් වූ අතර එම මුදලින් ක්‍රීඩකයින් 14 දෙනාටම ඔවුන්ගේ විශිෂ්ට දස්කම් සඳහා දිරිගැන්වීමක් ලෙස රුපියල් ලක්ෂය බැගින් ලබා දීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඇයගේ උපකාරය කිසිදා අමතක කළේ නැත. ඇයට ගෞරවයක් වශයෙන්, ඉන්දියාවේ පැවැත්වෙන සෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහාම ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර දෙකක් වෙන් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. එය ඇය මිය යන තෙක්ම පැවතියේය.
රාජ් සිං වසර 16ක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර වසර 20කට වැඩි කාලයක් පාලක මණ්ඩල යට සම්බන්ධව සිටියේය. ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයකුද වූ ඔහු සචින් තෙන්ඩුල්කාර් ලොවට හඳුන්වා දුන් පුද්ගලයාද විය. බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමිය පිහිටුවීමේ ගෞරවය ද ඔහුට හිමිය.
දිගු කලක් අල්සයිමර් රෝගයෙන් පීඩා විඳි රාජ් සිං 2009 දී මිය ගියේය. ලතා මංගේෂ්කාර් හොර රහසේ දුන්ගර්පූර් වෙත ගොස් තම පෙම්වතා අවසන් වරට දැක ඔහුට අවසන් ගෞරවය දක්වා තිබුණාය. අද ඔවුන් දෙදෙනාම මෙලොව නැත. මව්පිය විරෝධය නිසා කීර්තිමත් පුද්ගලයන් දෙනෙකුට හුදදෙකලාව ජීවත් වන්නට සිදුවීම දෛවයේ සරදමකි.
සටහන – ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
(මෙම සටහන ‘Priyanjen Suresh De Silva’ මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)