BREAKING NEWS
Search

හිටපු ජනාධිපති මහින්ද විජේරාම නිල නිවස නැවත රජයට භාර නොදුන් හේතුව මෙන්න

4

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිත කරන ලද විජේරාම නිල නිවස නැවත රජයට භාරදීමේ කටයුතු ප්‍රමාද වී ඇත්තේ, එම නිවසේ ඇති රජයට අයත් දේපළ පිළිබඳ නිසි ලේඛනයක් සකස් කිරීමේ කටයුතු අවසන් නොවීම හේතුවෙන් බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කරයි. විජේරාම නිල නිවස ඉදිරිපිටදී ඊයේ (02) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් නිවසේ ඇති රජය සතු භාණ්ඩ ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය තවමත් සිදුකරමින් පවතින බවත්, එම නිලධාරීන්ගේ පැමිණීමේ ඇතිවූ ප්‍රමාදය මෙම සමස්ත ක්‍රියාවලිය ප්‍රමාද වීමට එකම හේතුව බවත් ගමගේ මහතා පෙන්වා දුන්නේය. 2025 සැප්තැම්බර් 24 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිවස භාරදෙන ලෙස දැනුම් දෙමින් ලිපියක් එවූ නමුත්, ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් එහි දක්වා නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

මෙම නිවස තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට අයත් දේපළ පවතින බැවින්, අදාළ ආයතනවල නිලධාරීන් පැමිණ ඉන්වෙන්ට්‍රිවලට අනුකූලව තම දේපළ හඳුනාගෙන සලකුණු කරන ලෙස තමන් දැනුම් දුන් බව නීතිඥවරයා පැවසීය. නිසි ලෙස භාණ්ඩ ලේඛනගත කර භාර නොදුනහොත්, හිටපු ජනාධිපතිවරයා රජයේ දේපළ රැගෙන ගිය බවට අසත්‍ය චෝදනා නැඟිය හැකි බැවින්, මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

නිවස නිල වශයෙන් භාරදීමක් සිදු කිරීමටත් පෙර, රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ (02) උදෑසනම පැමිණ එය වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ බවද මනෝජ් ගමගේ මහතා චෝදනා කළේය. ප්‍රමාදය සිදුව ඇත්තේ රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව නිසා බව පැහැදිලිව පෙනෙද්දීත්, ඇතැම් පාර්ශ්වයන්ට අවශ්‍ය වී ඇත්තේ මාධ්‍ය සංදර්ශනයක් මවා පාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානි කිරීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *