මිනිහා බේබද්දෙක්. භාර්යාව රට යාමටත් එක හේතුවක් වූයේ මෙයයි. හරි හම්බ කරන දේවලින් වැඩි හරියක්ම බීමට යට කළ නිසා ඔහුට හරි හමන් ගෙයක් දොරක්වත් සාදා ගැනීමට නොහැකි වුණා. මෙයට විසඳුමක් ලෙස භාර්යාව විදෙස්ගත වෙනවා. ඇය ඉතුරු කරගත් දෙයින් ගෙදර වියදමට අමතරව නව නිවසක් ද ඉදිකිරීමට මුදල් එව්වා. සියල්ල ගාණට මිම්මටයි. ඔහුටද නිවසේ වියදමට මුදල් එව්වේ ද පරිස්සමටයි. ඒ ඇයගේ සොහොයුරාගේ නමටයි.
මුලදී මුලදී ඔහු මෙයට විරෝධය පළ කළ ද එය පුස්සක්වී ගිය නිසාම ඔහුට කරබාගෙන සිටිනු හැර වෙනත් විකල්පයක් නොවුණා. එහෙත් ඉඩ ලද සෑම අවස්ථාවකදීම ඔහු මාටියා ගැසීම අත්නොහළේය. ඒ නිවසට රැගෙන එන බඩු බාහිරාදියෙන්.
අලුතින් ඉදිකරනු ලැබූ නිවසේ වහලයට අවශ්‍ය ලීවල ආරක්ෂාව සඳහා දැව ආරක්ෂක ගෑ යුතු බවට වඩු බාස්උන්නැහේ කීවා. එහි වර්ගය ද බාස් පැවසුවා. එය ඉතා මිල අධික බවද කිව්වා. මෙය තමාට හොඳ අවස්ථාවක් බව සිතාගත් ඔහු දැව සඳහා වැඩි මිලක් ඇති දැව ආරක්ෂක වෙනුවට නිකන් මෙන් ගත හැකි කළුතෙල් ගැන ඔහුට සිහියට ආවා. ඒත් භාර්යාවට යවන බිලෙහි සඳහන් වනුයේ කලු තෙල් නොව දැව ආරක්ෂකවලට ගිය වියදම ලෙසයි.
ඔහු කලු තෙල් ගෙන ඒමට සිය පාපැදියෙන් ගියේ ලීටර් පහේ ප්ලාස්ටික් ලොකු බෝතලයක් ද සහිතවයි. ඉතාම අඩු මිලට කලුතෙල් මිලදී ගත් ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලකින් දැව ආරක්ෂක ද්‍රව්‍ය මිලදී ගත් බවට බිලක් ද ඉල්ලා ගත්තා. ලාභය බොහෝ ය. මාටියා පාර සරුය. ඒ නිසා එන අතරමග පුරුදු තිත්පොළෙන් අඩියක් දෙකක් ගසාගත් ඔහු නිවසට ඒමය පා පැදියට ගොඩවුණා.

















