BREAKING NEWS
Search

මන්නාරමේ දැවැන්ත විරෝධතාවයක්

303

මන්නාරම දූපත ආශ්‍රිත යෝජිත සුළං විදුලි බලාගාර ඉදිකිරීම නවත්වන්නැයි ඉල්ලා එහි ජනතාව ආරම්භ කළ විරෝධතාවයේ 58 වැනි දිනය අදයි.

අද එම ජනතාව වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක නිරතවුණි.

මන්නාරම දූපත ආශ්‍රිත යෝජිත සුළං විදුලි බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා එම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම නවත්වන්නැයි ඉල්ලා එහි ජනතාව මාස දෙකකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩ විරෝධතාවයේ නිරත වෙයි.

මෙම ඉදිකිරීම් හා කැණීම් නිසා පාරිසරික ගැටලු රැසකට තමන්ට මුහුණ දීමට සිදුවන බව ඔවුන් පවසයි.

අඛණ්ඩ විරෝධතාවට දින 58ක් පිරෙන අද එම ජනතාව සහ වෙළෙඳ ප්‍රජාව ප්‍රදේශයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

සියලු පොදු ප්‍රවාහන සේවා ද අද නවත්වා තිබූ අතර දැවැන්ත විරෝධතාවක් අද ආරම්භ කෙරුණේ මන්නාරම පොදු ක්‍රීඩා පිටියෙන්ය.

විරෝධතාවට සහාය දක්වා තවත් ප්‍රදේශවලින් ජනතාව අද මන්නාරමට පැමිණි බවයි අප වාර්තාකරුවන් පැවසීය.

විරෝධතාකරුවන් පා ගමනින් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගමන් කර සිය විරෝධය  පළක‍ළේය.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරින් එම ස්ථානයට කැඳවා තිබූ අතර පොලිස් අණ නොතකා දිගින් දිගටම විරෝධතාවයේ නියැලීම හේතුවෙන් පොලීසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවුණි.

පසුව, ජනාධිපතිවරයා වෙත යොමුකිරීම සඳහා විරෝධතාකරුවන් ගෙන ආ ලිපි මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට ලබාදීමෙන් පසු ඔවුන් විසිර ගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *