ඩක්කුවක් පෙරලීමෙන් අපවත් වු ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරන ලද දෙවැනි අවමංගල පූජෝත්සවය මෙයයි.
ඉන්දෝහාස හිමියන් අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී තිබුණා.
41 හැවිරිදි උන්වහන්සේ මෙන්ම 46 හැවිරිදි රුමේනියාවේ ධම්මරංසි හිමියන්ද ගිහි ජීවිතයේදී වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෝ ලෙස කටයුතු කර තිබෙනවා.
රුමේනියානු ජාතික ධම්මරංසී හිමියන් ද අනතුර සිදුවූ දිනයේදීම අපවත් වූ භික්ෂූන් වහන්සේලා සත්දෙනාගෙන් එක් ස්වාමීන්වහන්සේ නමක්.
ඩක්කුව පෙරළීමෙන් මරණයට පත්වූ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා සත් දෙනාට විදේශීය තිදෙනෙකුද අයත් වුණා.
එම දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණ නියමයෙන් උන්වහන්සේලා ගිහි කළ විසූ රටවල් වෙත යැවීමට රජය පියවර ගත්තද යැවිමට හැකිව තිබී ඇත්තේ ඉන්දියාවේ ධම්මගවේෂී හිමියන්ගේ දේහය පමණයි.
ඉන්දියාවේ වෙසෙන ධම්මගවේෂී හිමියන්ගේ ඥාතින් එම දේහය බාරගෙන එරටට රැගෙන ගොස් තිබුණා.
අපවත් වූ රුසියාවේ ධම්මරක්ඛිත හිමියන්ගේ දේහය එරට සිටින ඥාතින්ගේ කැමැත්තට අනුව මෙරටේදීම අවසන් කටයුතු කිරීම සඳහා රුසියානු තානාපති කාර්යාලය විසින් අවසරය ලබාදී තිබෙනවා.
නමුත් රුමේනියාවට රැගෙන යාමේදී ඇතිවිය හැකි බව කියන ප්‍රමාදයක් හේතුවෙන් රුමේනියාවේ ධම්මරංසි හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුද මෙරටේදීම සිදු කිරීමටයි ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව සහ රජය එක්ව පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන පෙළේ මල්ශාලාවක තබා තිබූ ධම්මරංසි හිමියන්ගේ දේහය නැවත කුරුණෑගලට රැගෙනවිත් අද පෙරවරුවේ නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත ගෙනයනු ලැබූවා.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කළ ඉන්දෝහාස හිමියන්ගේ දේහයද නාඋයනට රැගෙන ඒමෙන් අනතුරුව ධම්මරංසි හිමියන්ගේ දේහයද සමග අවසන් ගෞරවය දක්වා ආගමික වතාවත් සිදුකොට අනෙකුත් භික්ෂූන් වහන්සේලා පස්නම තැම්පත් කළ පන්සියගම පොදු සුසාන භූමියේදීම අද පස්වරුවේදී තැම්පත් කරනු ලැබූවා.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල නාහිමියන්ගේ සහ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති මීතලාවේ විනීත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල පූජෝත්සවය නාඋයන ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේදී පැවැත්වුණා.
මේ අවස්ථාවට ඉන්දෝහාස හිමියන්ගේ දෙමාපියන් සමග පවුලේ සාමාජිකයන්ද , වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය ඇතුළු ගිහිපැවිදි විශාල පිරිසක්ද සහභාගි වී තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණපාන චන්ද්‍රසිරි හිමියන්ගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුළත් කර සිටිනවා.
මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රාජගිරියේ ලෝකහිත හිමි සහ අනිවත්තේ සරණංකර හිමි යන දෙනම ප්‍රතිකාර ලබමින් සිටිනවා.

















