BREAKING NEWS
Search

බස්නාහිර පළාතේ පාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්

896

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී.

මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති, කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණු ද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමට හේතු වී ඇති බව හඳුනා ගෙන ඇත.

මීට අමතරව, පාරිසරික සාධක ලෙස බිඳුනු පවුල් පරිසරයන් තුළ ඇති ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, පවුල හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාවය, දිළිඳු භාවය හා ඌණ පෝෂණය ඇතුළු කරුණු ද බලපාන බවට හඳුනාගෙන තිබේ.

පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමුකිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

මේ අතර වසරේ ජනවාරි මස පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව ළමුන් 206 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන් ළමුන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති බවය.

ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම  වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් පාසල් සහ ඊට අදාළ ආයතනයන්හි වැඩසටහන් 15,652ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *