මේ කියන්න යන්නේ ඊයේ උදෑසනම ඇහුණු හද කම්පා කරවන පුවතක් ගැන තවත් තොරතුරු ටිකක්..
අනුරාධපුර – පාදෙනිය, ඒ–28 ප්‍රධාන මාර්ගයේ තලාව පොලිස් වසමේ මොරගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (25) අලුයම සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිදෙනෙක් තුවාල ලැබූවා.
තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව තලාව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොහාන් දේනුජන්, බාල ක්‍රිෂ්ණන් නිශාන්තන්, පරමේශ්වරම් සශිකුමාර් සහ විමලාන්ජන් යන සිවු දෙනාය. වෑන් රථයේ රියැදුරු ද මිය ගිය අය අතර සිටියි. මියගොස් ඇති සෙසු තිදෙනා ඇඟලුම් කම්හල් සේවකයන්ය.
වෑන් රථයේ ගමන් කළ මුලතිව් සහ අනුරාධපුර, කලත්තෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් සහ කිලිනොච්චියේ පදිංචිකරුවෙක් වන ලොරි රථයේ රියැදුරා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
ජාඇල සිට පුදුකුඩිඉරුප්පු දෙසට ඇඟලුම් කම්හලේ සේවකයන් ගමන් කළ වෑන් රථයක් සහ අනුරාධපුර සිට කුලියාපිටිය දෙසට ගමන් කළ කන්ටේනර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව ඇත්තේ ඊයේ අලුයම 4.40ට පමණ තලාව පොලිස් වසමේ 73 වැනි කිලෝ මීටර් කණුව අසලදීය.
අනතුර සිදු වූ අවස්ථාවේදී වෑන් රථයේ සිරවී සිටි තුවාලකරුවන් පිටතට ගෙන ඒම සඳහා අවට ප්‍රදේශවාසීන් ඇතුළු මාර්ගයේ ගමන් කළ පිරිස් දැඩි පරිශ්‍රමයක යෙදුණ බව ද පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදු වන විට වෑන් රථයේ පුද්ගලයන් හය දෙනෙක් ගමන් කර ඇති අතර, රියැදුරු හැර අනෙක් සියලු දෙනා මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් බව ද පොලීසිය කියයි.
වෑන් රථය මාර්ගයේ දකුණු දිසාවට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කන්ටේනර් රථයේ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත්, අනතුරට හේතුව අධික වේගයෙන් වෑන් රථය ධාවනය කළ රියැදුරාට නින්ද යෑම බවට සැක කරන බව ද පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් තිදෙනා රෝහල්ගත කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, තුවාල ලැබූ තවත් එක් අයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරා වන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.
වෑන් රථයේ ගමන් කර දිවි බේරා ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව සිටියේය.
මේ අනතුර සම්බන්ධයෙන් තලාව, මොරගොඩ, මිහිරිගම ප්‍රදේශයේ පදිංචි අයෙක් මෙලෙස අදහස් දැක්වීය.
“පාන්දර අපි නිදාගෙන හිටියේ. අලුයම හතරයි තිස්පහට විශාල සද්දයක් ඇසුණා. අපි සද්දෙ ඇහුණ පාර දෙසට දුවගෙන ගියා. වෑන් එකත් ලොරියත් මුහුණට මුහුණ ගැටී තිබුණා. ලොරිය පාරේ හරි පැත්තේ තිබුණා. වෑන් එක අනිත් පැත්තෙන් ඇවිත් තිබුණේ. අපේ කෑගැහිල්ලට අවට අය එතැනට එකතු වුණා. වෑන් එකේ ආපු ඔක්කොම අය හිර වෙලා හිටියේ. එක්කෙනෙක් එළියට විසි වෙලා හිටියා . එයා බඩගාගෙන මාර්ගය අයිනට ආවා. මිනිස්සු තහඩු අයින් කරලා තුවාලකරුවන් එළියට ගත්තා. රියැදුරාගේ එක කකුලක් වෙන්වෙලා තිබුණේ. පස්සේ වෙන් වෙච්ච කකුල ෂොපින්බෑග් එකක දාලා රෝහලට යැව්වා. තවත් එක්කෙනෙක් අතක් පණ නැතුව හිටියා. තවත් කෙනෙක් සීට් දෙක අතර හිර වෙලා හිටියා. පස්සේ 1990 ගිලන් රථය ආවා. තලාව ඉස්පිරිතාලෙටත්, අනුරාධපුර ඉස්පිරිතාලෙටත් කට්ටිය අරන් ගියා.”
ඊයේ (25) දහවල් වන විටත් බරපතළ තත්ත්වයේ පසුවූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනාගෙන් පොලීසියට ප්‍රකාශ සටහන් කරගැනීමට නොහැකිව තිබුණි.
මේ අනතුර සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ටී. පී. හේරත් මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක අමල්, රථ වාහන අංශයේ පොලිස් සැරයන් සිසිර (50902), පො. සැ. අමිල (46894), පො. සැ. සුසිල් (33711) නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

