ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කෙරුණු තරුණයා අද (20) දිවයිනට පැමිණියේය.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.
එදින සිටම ඔහු නිසි පරිදි සේවා ස්ථානයේ නොරැඳී අවට සැරිසරමින් සිට තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැදී සිටියදී හමුවී ඇත.
ඒ වන විට ඔහුගේ පැවති දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 5 වැනිදා ජෙරුසලම රෝහලට ඇතුළත් කළද එදින රාත්‍රියේ ඔහු එම රෝහලින්ද පැන ගොස් තිබෙන බව කාර්යාංශය සඳහන් කරයි.
ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ තරුණයා කිහිපවරක් සිය භාරයේ රඳවා ගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ වී ඇතැයිද කෙසේ හෝ සැප්තැම්බර් 16 වන දින මොහු පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ රඳවා තබාගත් බවද කාර්යාංශය සඳහන් කරයි.


















