බිරිඳ නිසා ගොඩගිය මිනිසුන් අතර තමන්ද සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
තමන්ට එරෙහිව චෝදනා කළ සහ පැමිණිලි ඉදිරිපත් කළ ඇමතිවරුන්ගේ වත්කම් සමඟ තම වත්කම් සංසන්දනය කළහොත් එය සාධාරණ බව නාමල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම, එම පුද්ගලයන් තම බිරිඳගේ වත්කම් සහ තම වත්කම් පටලවාගෙන ඇති බවත් ඔහු පවසයි. ඔහුගේ බිරිඳගේ පවුල ව්‍යාපාර ආරම්භ කර වසර 40කටත් වඩා වැඩි බවත්, තමන්ට තවමත් වයස 39ක් බවත් ඔහු කියා සිටී.
තම දෙමව්පියන්ගෙන් ලැබුණු දේපළ හා තෑගි ඇතුළු සියලු වත්කම් ප්‍රකාශ කර ඇති බවත්, නීති විරෝධී දේපළ මිලදී ගැනීම් හෝ මහ බැංකුවෙන් තහනම් කළ ව්‍යාපාර කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
තමන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ බවත්, උපදේශන සේවා සැපයූ බවත්, ඒ සඳහා බදු ගෙවා ඇති බවත්, බදු වාර්තා ඉදිරිපත් කර ඇති බවත් නාමල් රාජපක්‍ෂ මහතා පැහැදිලි කරයි. පවුලෙන්, දෙමව්පියන්ගෙන් ලැබුණු දේපළ ආදායම් ද ඇති බව ඔහු සඳහන් කරයි.
2010 සිට සෑම පාර්ලිමේන්තු මැතිවරණයකටම පෙර සහ ගිය ජනාධිපතිවරණයේදී සෑම නාලිකාවකම පැවති විවාද වලදීත් තමා මෙම ප්‍රශ්නවලට පිළිතුරු දී ඇති බව ඔහු පවසයි.
ඔහු වැඩිදුරටත් අභියෝග කරන්නේ, “නිර්ධන පන්තිය” නියෝජනය කරමින් පැමිණ, මිනිසුන්ගේ ඡන්ද සල්ලි වලින් දේශපාලනය කර, රාජපක්ෂවරුන් මහා දැවැන්ත කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස හැසිරුණු බවට චෝදනා කළ අයගේ වත්කම් දැන් තමන්ට වඩා වැඩි බවයි.
මෙම වත්කම් වැඩිවීම වසරක් ඇතුළත සිදු වූවක්ද, නැතහොත් “අවුරුදු 76ක ශාපය” පැවති සමයේ කෝටි ප්‍රකෝටි ගණන් උපයාගත් දේපළ ද යන්න පැහැදිලි කරන ලෙස ඔහු එම පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියි. මේ ප්‍රශ්න දෙකටම ඔවුන් පිළිතුරක් දිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
තමන්ට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කළ වසන්ත සමරසිංහ සහෝදරයා තමන්ට වඩා පෝසත් බවද නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.



















