ජාතික පාසල්වල වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් තමා සේවය කරන පාසලටම ඇතුළත් කර ගැනීමට ලබා දී තිබූ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, පසුගිය දින කිහිපයේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ ගුරුවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උපවාසයක් ආරම්භ කර තිබේ.
ඇමතිනි අමරසූරිය මහත්මිය සිය අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ, ඇතැම් පාසල්වල පන්තිවල ළමුන් 44-45 අතර ප්‍රමාණයක් නොව, 50, 55, 60 වැනි විශාල ප්‍රමාණයක් සිටින බවත්, එබැවින් පුරප්පාඩු නොමැති ස්ථානවලට ළමයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් ලබා දෙන ලෙස තමාට යෝජනා කරන ලෙස විරෝධතාකරුවන්ට අභියෝග කළාය.
“අපි ඕක කරපු ගමන් මේ කණ්ඩායමට අයිති නැති එක්කෙනෙක් උසාවි යනවා, මේ කණ්ඩායමට ඇයි මෙහෙම සැලකුවේ කියලා. ඒ නඩු තීන්දුව ගත්තම ළමයි දාන එක නවත්තගන්න එකක් එනවා”.
ඇමතිවරිය සඳහන් කළේ, අමාත්‍යාංශයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවත්, “වැඩිපුර දැම්මොත් නඩු දානවා” යැයි එක් අයෙකු තර්ජනය කර ගිය බවත්ය.
ඇය අවසාන වශයෙන් අවධාරණය කළේ, තමන් මෙම තීරණය ගනු ලැබුවේ ඡන්දය දුන්නත් නැතත්, පුද්ගල පදනමක් මත නොවන බවත්ය.


















