BREAKING NEWS
Search

නේපාල අරගලයෙන් මියගිය අය දිවි පිදූවන් ලෙස නම් කරයි

64

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස නම් කළ සුෂිලා කාර්කි අද (14) සිය ධුරය නිල වශයෙන් වැඩ භාරගතේය.

කෙසේ වෙතත් වැඩ භාරගැනීමට ප්‍රථම ඇය නේපාල ජාතිකයන්ගේ ‍ගෞරවනීය ස්ථානයක් ලෙස පිළිගන්නා කත්මණ්ඩු නුවර ලයින්චෝර්හි දිවි පිදූවන්ගේ ස්මාරකයට ගොස් උපහාර දක්වා ඇත.

එහිදී ඇය මෙවර විරෝධතා අතරතුර මියගිය පුද්ගලයන් ‘දිවි පිදූවන්’ ලෙසින් නම්කර ඇති අතර, ඔවුන්ගේ පවුල්වලට නේපාල රුපියල් මිලියනයක වන්දි මුදලක් ද ලබාදීමට තීරණය කර තිබේ.

ප්‍රචණ්ඩකාරී විරෝධතාවලට ගොදුරුවූවන්ට ක්ෂණික සහන සැලසීම සඳහා නව අගමැතිනියේ පළමු තීරණවලින් එකක් ලෙස මෙය සැලකෙයි.

මේ අතර නේපාල මාධ්‍ය විරෝධතා අතරතුර සිදු වූ හානි පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අද එළිදක්වා තිබූ අතර, එහි සඳහන් කර ඇත්තේ විරෝධතා හේතුවෙන් ජීවිත 72ක් අහිමි වූ බවය.

ඉන් 59ක් විරෝධතාකරුවන් වන අතර, රැඳවියන් 10ක් හා පොලිස් නිලධාරීන් 3ක් සිටින බව සඳහන් වේ.

අරගලය හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට දැඩිව හානි සිදුව ඇති හෙයින් එරට නව අගමැතිනියට නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ලේදී සිය නිල රාජකාරි ආරම්භ කිරීමට සිදුව තිබේ.

හිටපු අගවිනිසුරුවරියක වූ සුෂිලා කාර්කි නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නැංවීය.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 5වනදා පැවැත්වීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *