සොරෙකු යැයි සිතා පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් පසු ඇති වූ සිත්තැවුලක් මත සිය දිවි හානි කරගත් තරුණයෙකු පිළිබඳ අවාසනාවන්ත පුවතක් මහනුවර, පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ තරුණයා පසුගිය 06 වන දින රාත්‍රියේ කොත්මලේ -රම්බොඩ ප්‍රදේශයේදී මෙලෙස පහර කෑමට ලක්ව තිබුණා.
මෙම සිද්ධියට මුහුණ දුන්නේ, කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවයකළ රාමචන්ද්‍රන් පුවනේස්වරන් නම් වූ මුරලි ලෙස හැදින්වූ 34 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
ඔහු පසුගිය 06වන දින කොළඹ සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථයකට ගොඩ වී තිබුණේ, රැකියාවෙන් නිවාඩු ලබා සිය නිවස වෙත පැමිණීමේ අරමුණින්.
නමුත් ඔහුට බස් රථයේදී නින්දගොස් තිබූ අතර සිය ගමනාන්තය වූ මහනුවර, පුස්සැල්ලාව, රොච්චයිල්වත්ත ප්‍රදේශයෙන් බස් රියෙන් බැසීමට ඔහුට නොහැකි වී තිබුණා.
ඒ අනුව ඔහු පසුව බස් රථයෙන් බැස තිබුණේ, කොත්මලේ – රම්බොඩ ප්‍රදේශයෙන්…ඒ අලුයම 02ට පමණ.
පසුව එම තරුණයා එම ප්‍ර දේශයේ පිහිටි ඥාති නිවසක් වෙත යාම ගොස් ඇති අතර ඥාති නිවස යැයි සිතා වැරදීමකින් එම ප්‍රදේශයේ වෙනත් නිවසක දොරට තට්ටු කර තිබුණා.
එම නිවැසියන් අදාළ තරුණයා සොරෙකු බව සිතා කෑ ගසා ඇති අතර එහිදී එම ස්ථානයට ගම්වාසීන් පිරික්ද එකතු වී තිබුණා.
එම ස්ථානයට ඔහුගේ ඥාතින් බව පැවසූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුද පැමිණ තිබූ අතර කෙසේ නමුත් ඔවුන් අදාළ තරුණයාව හඳුනාගෙන තිබුණේ නැහැ.
ඒ අනුව අදාළ තරුණයා සොරෙකු යැයි සැක සිතමින් ගම්වාසීන් විසින් ඔහුට පහර දී තිබුණා.
එම පහර දීම එහි සිටි කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගතකර සහ එම දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍යයේද ප්‍රචාරය කර තිබුණා.
එම ඡායාරූප සමාජ මාධය තුළ මෙලෙස සංසරණය වී තිබුණේ අදාළ තරුණයාව අපහසුතාවට පත් කරමින්.
අදාළ තරුණයාව ප්‍රදේශවාසීන් විසින් කොත්මලේ පොලිසියට භාර දී තිබුණා.
එහිදී ඔහු සොරකමක් සිදු කර නොමැති බවට අනාවරණය වූ බැවින් පොලිස් ඇප මත ඔහුව ඥාතීන් වෙත භාර දීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.
එම ස්ථානයට පැමිණ සිටි, කාන්තාව සහ පිරිමි පුද්ගලයා ඔහුගේ ඥාතීන් බවද පසුව අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මෙම තරුණයා දිගු කලක් ඒම ඥතීන් හමුවීමට ගොස් නොතිබූ නිසා ඔවුන්ට ඔහුව හඳුනාගත නොහැකි වූ බවයි.
කෙසේ නමුත් මෙම සිද්ධියට අදාළ තොරතුරු සමාජ මාධ්‍යයේ පළවීමත් සමග එම තරුණයා දැඩි කම්පයට පත්ව සිට තිබෙනවා.
පසුගිය 08 වන දින ඔහු සිය නිවසේදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණේ එම පසුතැවිල්ල හේතු කර ගෙන බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස සිත් තැවුලෙන් සිටි බවයි එම තරුණයාගේ ඥාතීන් පවසන්නේ.
අත්වැරදීමකින් වැරදි තොරතුරක් සමාජගත වීම හේතුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ එම තරුණයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.



















