BREAKING NEWS
Search

එකම දිනයේ පැය 6ක් තුළ වෙඩි තැබීම් 4ක්

155

පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් පෙරේදා (06දා) දිනයේ පැය 06ක කාලසීමාවක් තුළදී ස්ථාන 04කදී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 26 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්වී තවත් අයකු බරපතළ තුවාල ලබා ඇත.

මෙහිදී මුල්ම ප්‍රහාරය එල්ලවන්නේ පෙරේදා අලුයම 1.00ට පමණ ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව අසලදීය. දුරකථන ඇමතුමක් ලබාදී කැලණියේ පදිංචි 26 හැවිරිදි තරුණයකුව මහවත්තට ගෙන්වා පාතාල සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඔහුට වෙඩි තබා පලාගොස් ඇත. ප්‍රහාරයෙන් එම තරුණයා ඝාතනයට ලක්විය. මීට සති කීපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට එකට එක කිරීමක් ලෙස මෙම තරුණයා ඝාතනය කර ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම ඝාතනය සිදුවී පැය එකහමාරකට පමණ පසුව මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණි.

ප්‍රහාරයෙන් එම පුද්ගලයා බරපතළ තුවා ලැබූ අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේම මීගමුව කුට්ටුදූව පමුණුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර නාඳුනන පාතාල සාමාජිකයන් දෙදෙනකු වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. මුදල් ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. ප්‍රහාරයෙන් කිසිවකුවටත් තුවාල සිදුවී නොමැත.

මේ අතර පෙරේදා (06දා) උදෑසන පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉලක්ක කර එකම දිනයක පැය 06ක් තුළ එල්ල කළ 4 වැනි ප්‍රහාරයත් සිදු කෙරිණි.

යතුරුපැදියක පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් අළුබෝමුල්ලේ වෙළෙඳසලකට වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් තිබිණි. මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම ප්‍රහාරයට බලපාන්නට ඇති බවට පොලිසිය සැකපහල කරයි.

හේමන්ත රන්දුණු සහ ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *